මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රජය රුපියල් බිලියන 20ක් දක්වා මුදලක් වැය කිරීමට සූදානම් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද දින (27) පෙරවරුවේ වීරකැටිය හා අගුනකොළැපැලැස්සේ දී අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් මාසයකට සහල් කිලෝ 10ක් බැගින් නොමිලයේ ලබා දීමේ වැඩ සටහනට සහභාගි වෙමිනි.
මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ රජය විසින් දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදු කරනු ලැබීය. එමෙන්ම කුඩා වී මෝල් අයිතිකරුවන්ගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම සඳහා එම වී සහල් බවට පත් කර අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලයේ ලබා දීමට තීරණය කරනු ලැබීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ගනු ලැබූ තීරණයක් පරිදි මෙම සහල් බෙදා දීමේ වැඩ සටහන එක් එක් දිස්ත්‍රික්කවල දී ඊයේ සිට ආරම්භ වූ අතර හම්බන්තොට, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවල සහල් බෙදා දීම අද දින සිදු කරන ලදී.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා මාස දෙකක් යන තෙක් සහල් කිලෝ 10ක් බැගින් එක් පවුලකට ලබා දීමට තීරණය කළ බවත්, නමුත් අවශ්‍යවුවහොත් ඉදිරි මාස කිහිපයක් එකදිගටම සෑම පවුලකටම සහල් ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ගරු ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු කර ඇතැයි ද සඳහන් කළේය.
සහල් ලබා දීමේ වැඩ සටහන දිගටම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් අඩු තරමින් මේ සියලු අඩු ආදායම්ලාභි පවුල් සඳහා යම් සහනාධාර මුදලක් වුවත් ලබා දිමට රජය සූදානම්. අපි මෙම සහනාධාර ලබා දෙන්නේ මැතිවරණයක් ලඟ එන නිසා බව සමහරු කියනවා. අපි රජය විදියට ඡන්ද දිහා බලාගෙන ජනතාවට සහන දෙන්නේ නැහැ.
අද දිස්ත්‍රික්ක ගණනාවක බෙදාහරින සහල් හම්බන්තොට ගොවි ජනතාව දහඩිය මහන්සියෙන් වගා කළ ඒවායි. මේ කිසි කෙනෙක් අරගලවලට ගියේ නැහැ. මේ ජනතාව මැතිවරණ දියව් කියළා බෝර්ඩ් උස්සාගෙන කෑගැහුවේ නෑහැ. අද ඡන්ද අවශ්‍ය වෙලා තියෙන්නේ මහජනතාවට නොවෙයි. දේශපාලන පක්ෂ කිහිපයකටයි. රටේ ආර්ථික තත්ත්වය යහපත් වූ පසු අපි මැතිවරණ පවත්වනවා. යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.