මේ මිලට වී දෙන්න නම් අපි ලබන කන්නයේ කරන්නේ නෑ, ගොවියාට මේ කරන අසාධාරණය වෙනුවෙන් අපි පාරට බහින්නේ මෙහෙම නෙමෙයි යැයි ගොවියෝ කෘෂි ඇමතිගේ මුහුණටම පවසද්දී , මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නේ කවුද කියා ඉදිරියේදී හෙළිදරව් කරන්නම් යැයි ඇමති පවසයි.
කෘෂිකර්ම,වනජීවී හා වන සම්පත් අමාත්‍යය මහින්ද අමරවීර මහතා හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයින් අතර හමුවක් ඊයේ (10) අනුරාධපුර පශු අස්වනු තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති අතර එහිදී වී මිල සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
නිෂ්පාදන පිරිවැය මේ වන විට ඉහළ ගොස් ඇති බැවින් වී කිලෝවක් සඳහා වන මිළ ඉහළ දැමීම හා වී අලෙවි මණ්ඩල හරහා වී මිළදී ගැනීමට කටයුතු කරන ලෙසත්, 2021/22 මාස් කන්නයේ කාබනික වගාවට යොමු වීම හේතුවෙන් ගොවීන්ගේ ආදායම 40% කින් පහළ වැටීම හේතුවෙන් එවකට සිටි කෘෂිකර්ම ඇමතිවරයා පොරොන්දු වූ වන්දි මුදල කඩිනමින් ලබා දෙන ලෙසත්, වගා හානි රක්ෂණ වන්දි මුදල වැඩි කරන ලෙසත්, ගොවි මහතුන් සඳහා ගොවි හැඳුනුම්පත් ලබා දෙන ලෙසත් ඇතුළු ඉල්ලීම් කීපයක් ගොවි සංවිධාන නියෝජිතයින් අමාත්යයතුමන්ගෙන් ඉල්ලා සිටියහ.
ඊට පිළිතුරු ලෙස අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා කියා සිටියේ,
“ඉදිරි කන්නය සඳහා බංඩි පොහොර (එම්.ඕ.පී) ගෙන්වීම සඳහා ටෙන්ඩර් එකක් ප්රදානය කර අවසන්, යූරියා ටෙන්ඩර් එකත් ඊයේ (09) වන විට අවසන් නිගමන ගන්නා මට්ටමට ඇවිත් තිබුණා.ඒ අනුව කිසිම ගැටලුවකින් තොරව බංඩි පොහොර හා යූරියා ලබා දෙන්න පුලුවන් වෙයි. අපිට ටී.එස්.පී වල විතරක් ප්‍රශ්නයක් තියෙනවා. ටී.එස්.පී ගෙන්වන්න මුදල් හොයා ගත්තත්, ගෙන්වන්න රටක් හොයා ගන්න බැරි වුණා,රටවල් ටී.එස්.පී අපනයනය තහනම් කරලා තියෙනවා.
නමුත් අපි උත්සහ කරනවා.ඒ අනුව පොහොර ප්රශ්නය පහුගිය කන්නයට වැඩිය සාර්ථකව ලබන කන්නයේ විසඳගන්න පුලුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා.බඩ ඉරඟු වලට වී වගාවට දෙන ගානටම දෙන්න බැරි වුණත් රුපියල් 15 000 ගානේ පොහොර ලබා දීම සිදු කරනවා. ගිය වතාවේ හෙක්ටයාර 20 000 කට අඩු ප්‍රමාණයක් බඩ ඉරඟු වගා කලේ, අපි බලාපොරොත්තු වුණේ හෙක්ටයාර 50 000 ක් පමණ වගා වෙයි මේ කන්නයේ කියලා, නමුත් දැනට ලියාපදිංචි වෙලා තියෙනවා හෙක්ටයාර 125000 ක් වගා කරන්න.
සතුටුදායක ආරංචියක් වුණත් තියෙනවා ප්‍රශ්නයක් බීජ සොයා ගැනීම සම්බන්ධයෙන්.බීජ කඩිනමින් ගෙන එන්න කටයුතු කරනවා.බීජ අපනයනයත් දැන් නතර කරලා තියෙනවා.රාජත්‍රාන්තික මට්ටමින් හරි බීජ ගෙන්වන්න බලාපොරොත්තු වෙනවා.බඩඉරඟු වගේම තල, කුරක්කන්, මුං ඇට වගා කරන ගොවීන්ටත් සහන ලබා දෙන්න කටයුතු කරනවා.
ට්‍රැක්ටර් වලට ඉන්ධන ලබා දීම සඳහා අවශ්‍යය කටයුතු සම්පාදනය කර තිබෙනවා.අඩුපාඩු අතපසුවීම් මේ වතාවේ සිදු වුණත් ඉදිරියට සිදු නොවීමට වගා බලාගන්නවා. බඩ ඉරඟු ආනයනයට රුපියල් 25 ක බද්දක් තිබුණේ, ඒක රුපියල් 10 දක්වා අඩු කලා, මේ වෙලාවේ බිත්තර සහ කුකුල් මස් මිල ඉහළ යාමට බලපෑව නිසා.නමුත් ඒක අපි කිසිසේත්ම ගොවීන්ට බාධාවක් හැටියට තියන්නේ නෑ, අපි බලපත්‍ර ලබා දෙන්නේ සීමා සහිතව, දැනට තියෙන හිඟය සඳහා පමණයි.ඒවා ඉදිරි කන්නය වන තුරු තියාගන්න දෙන්නෙත් නෑ.
වී මිළ සම්බන්ධයෙන් ගත්තට අපිත් ටිකක් අමාරු තත්වයක ඉන්න්, වී මිල තීන්දු කලේ මුදල් අමාත්‍යංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් මඟින් ඒ කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ජා කරලා මේ මිල තීන්දු කලේ.දැනට තියෙන තත්වය අනුව ඒ මිලටත් ගන්න අපහසුයි.ගත්ත ඒවාට මුදල් බේරාගෙන යනවා අපි මේ දවස් වල, අලුතින් වී ගන්න එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා.සඳුදා කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳ තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා.කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා අපිට මිලියන 2000 ක්. නමුත් බැංකු ඒ පිළිබඳ දක්වන උනන්දුව මන්දගාමීයි.
වී ගොවියාගේ වී අපි මිල දී ගන්න අපි ඉදිරිපත් වුණේ නැත්නම් මොල්කාරයෝ අඩු මිලට ගන්නේ.ඒ අය බොහෝම කැමතියි අපි වී මිලදී නොගන්නවාට. එහිදී අදහස් දැක්වූ ගොවි සංවිධාන නියෝජිතයකු කියා සිටියේ , වී අලෙවි මණ්ලයට වී මිලදී ගැනීමේ හැකියාව නැති වෙලා තියෙද්දී රජයෙන්ම හාල් මිල අඩු කරන කොට ගොවියෝ අසරණ වන බවයි.
ඊට පිළිතුරු දුන් අමාත්‍යයතුමන්,
වී අස්වැන්න නෙලන කොට රටින් හාල් ගේන්න අවශ්‍යය නෑ, රට හාල් වල තියෙන තත්වය හැමෝම දන්නවා.ලංකාවේ තහනම් කරපු කෘමිනාශක, බාල පොහොර වර්ග වලින් තමයි මේ සහල් නිෂ්පාදනය කරන්නේ.මේ විෂ සහිත සහල් නැතිම වෙලාවක ගෙනාවට ප්‍රශ්නයක් නෑ, මේ වෙලාවේ මිළ අඩු කිරීම ගැන කථා කරනවාට වඩා අපේ ගොවියාගේ නිෂ්පාදනයට මිලක් එන වෙලාවට තමයි මේ ඔක්කොම කථා කරන්නේ.මම මුදල් අමාත්‍යංශයට ලිඛිතව දන්වලා තියෙනවා සහල් ගෙන්වීම නතර කරන්න හෝ බද්දක් පනවන්න. මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී සාකච්ජා කරනවා.අදාළ අංශ ක්‍රියාත්මක වීමේ ගැටලුවක් තියෙනවා.ජනාධිපතිතුමන්ට වුවමනාවක් තියෙනවා ගොවියා ශක්තිමත් කරන්න.නමුත් නිළධාරී මණ්ඩලයෙන් ලැබෙන සහය මන්දගාමී බවක් තමයි පේන්න තියෙන්නේ. බීජ ගෙන්වන්න ඩොලර් නෑ කියනවා, හැබැයි හාල් ගේන්න සල්ලි තියෙනවා.මේ ගොයම් කැපෙන වෙලාවේ සහල් ගෙන්වන්නේ නැතිව සංචිත ලෙස ආණ්ඩුවේ තියාගන්න ගෙනාවට ප්‍රශ්නයක් නෑ යැයි පැවසීය.
අනතුරුව අදහස් දැක්වූ ගොවි සංවිධාන නියෝජිත මහතෙකු,
අපේ මේ දේ වලට ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැත්නම්, අපිට පේන විදිහට කැබිනට් එක වුණත් අපිට සහයෝගයක් නෑ, ප්‍රදේශයේ මැති ඇමතිවරුත් පාර්ලිමේන්තුවේ ගොවියෝ වෙනුවෙන් කථා කරනවා අපි දැක්කේ නෑ, බොරුවට කෑ ගහනවා වේදිකාවේ. ලබන මාස් කන්නයේ මේ මිලට වී දෙන්න බෑ අපිට, හාන්න රුපියල් 35 000 යි, ගොයම් කපන්නත් 30 000 ක් විතර යනවා.අක්කරයට කෙලින්ම 50 000 ක් යනවා.අපිට මේ ගන්න අදායම මදි, මේ මිලට වී දෙන්න නම් අපි ලබන කන්නයේ කරන්නේ නෑ, මුලු ලංකාවේම කථා වෙලා තියෙන්නේ.මේ මිලට වී දීලා අපිට පාඩුයි. සීනී , මිරිස් ටික අනික් හැමදේම ගණන් අපිට, ළමයි ඉස්කෝලේ යවන්න ඕන, බෙහෙත් ටික ගන්න ඕන, අනෙක් අත්‍යවශ්‍යය වැඩ අපි කරන්න ඕන, අපි හැමදේම ගන්නේ වැඩි මිලට නම් අපේ වී ටික ඇයි තුට්ටු දෙකට ගන්නේ.ගොවියාට මේ කරන අසාධාරණය වෙනුවෙන් අපි පාරට බහින්නේ මෙහෙම නෙමෙයි.ඊළඟ මාස් කන්නය කරනවාද? නැද්ද? කියන එක තීරණය කරන්නේ අපි, ඔබතුමා තෙල් -පොහොර දෙයි අපේ නිෂ්පාදනය වෙළඳපොලේ තුට්ටු දෙකට නම් ගන්නේ මොකද කරන්නේ.මේ මිල තීරණය කරන්නෙ රජයෙන් නෙමෙයි, වෙනම මාෆියාවක් යන්නේ.වී මෝල් කාරයෝ කරන කුපාඩි වැඩේ, ඔබතුමන්ලා මැදිහත් වුණාට වැඩක් නෑ මේ කුපාඩි වැඩේ දිගටම කරයි.අපි මේක ඉදිරියට කරන්න දෙන්නේ නෑ ගොවියෝ පාරට බහිනවා.ගෝල්ෆේස් වගේ නෙමෙයි අපි බැස්සොත්.අඟහරුවාදට තීරණයක් නොගත්තොත් අපි මාස් කන්නය කරන්නේ නෑ.මේ විදිහට කුඹුරු කරලා වැඩක් නෑ යැයි පැවසීය.
ඊට පිළිතුරු දුන් අමාත්‍යය මහින්ද අමරවීර මහතා,
නිළධාරී මට්ටමින් මේකට ලැබෙන සහයෝගය මදි කියන එක මට අමාත්‍යයවරයා විදිහට පිළිගන්න සිද්ධ වෙනවා.මම ඉදිරියේදී හෙළිදරව් කරන්නම් කවුද මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නේ කියලා.( සභාවෙන් උණුසුම් අත්පොළ සන් හඩක්) මේක හංගාගෙන ඉඳලා වැඩක් නෑනේ. කැබිනට් පත්‍රිකාවෙන් දීපූ යෝජනාව ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා නම් ඒක වැඩක් නෑනේ.අපි අධෛර්ය වෙන්නෙත් නෑ, අපි අතාරින්නෙත් නෑ, ගොවිජනතාව අපිත් එක්ක ඉන්නවා නම් අපිට ජයග්‍රහණය කරන්න පුලුවන් යැයි පැවසීය.