මෙවර යල කන්නයේ වී අස්වැන්න ඉහළ යාමට නම් දැනට රජය විසින් පොහොර සහනාධාරය සඳහා නිකුත් කර ඇති වවුචර්පත්වලින් අඩු තරමින් සියයට 50ක්වත් බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා යොදවන ලෙස කෘෂි විශේෂඥයින් විසින් අවධාරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.
2023 යල කන්නයේ දී වී වගාවට අවශ්‍ය රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 1000ක් වෙන් කරනු ලැබ තිබේ.
මෙම මුදල් ගොවීන් හයලක්ෂ පනස් දහසකට හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් වවුචර්පත් මගින් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.
මේ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගා කරන ගොවීන්ට වවුචර්පත් ප්රදානය කිරීම ඊයේ සහ පෙරේදා (26,27) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී ගොවීන් සදහා රුපියල් මිලියන 400ක වවුචර්පත් බෙදාදීමට පියවර ගෙන ඇත.
මෙම වැඩ පිළිවෙළ යටතේ බදගිරිය, ලුනම, යෝදකණ්ඩිය හා වීරවිල ඇතුළු ගොවිජන බල ප්‍රදේශ ගණනාවක ගොවි ජනතාවට වවුචර්පත් බෙදාදීම කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙම පොහොර වවුචරවලින් රසායනික පොහොර හෝ කාබනික පොහොර රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් මිල දී ගත හැකි බව අවධාරණය කළේය. එමෙන්ම රසායනික පොහොර මිල දී ගැනීමේ දී බන්ඩි පොහොර මිල දී ගැනීම සදහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි ද අමාත්‍යවරයා ගොවිජනතාවගෙන් ඉල්ලිමක් කළේය.
"යුරියා පොහොර කෙතරම් යෙදුවත් අස්වනු සරු නොවේ. ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නම් MOP හෙවත් මඩපොහොර යෙදීම අනිවාර්ය බව කෘෂි විශේෂඥයින් අවධාරණය කර තිබෙනවා. පසුගිය මහ කන්නයේ දී ගොවීන්ගෙන් සියයට පහක්වත් බන්ඩි පොහොර මිල දී ගෙන නෑ. සමහර විට පොහොර මිල ඉහළ යාම ඊට හේතුවන්නට ඇතැයි සිතනවා. නමුත් අපි රජය වශයෙන් මෙම යල කන්නයේ දී බන්ඩි පොහොර මිල රුපියල් 4500කින් අඩු කළා.
රජය විසින් වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළක් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කළා. ඒ සදහා රුපියල් බිලියන 13ක් රජය වැය කළා. නමුත් ගොවීන්ගේ වීවලට ඉහළ මිලක් ලබා දෙන ලෙස ගොවීන් ඉල්ලීම් කරනවා. ගොවි නිෂ්පාදන වියදම් ඉහළ ගොස් තිබෙන බව රජය පිලිගන්නවා. අපි රජය වශයෙන් යල කන්නයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවත් රුපියල් මිලියන 10,000ක මුදලක් පොහොර සහනාධාරය සඳහා වෙන් කළේ ඒ නිසායි"