වීදි සුනඛයන්ට ස්වේච්ඡාවෙන් සලකන අය සුනඛයන්ගේ හිමිකරුවන් නෙමෙයි
ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සංශෝධනයට යටත්ව, රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය. පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (20)රැස්වූ කාරක සභාවේදී මෙම පනත් කෙටුම්පතේ විධිවිධාන සහ යෝජිත සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලබාදීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම නියාමනය කිරීම තුළින් ශ්රී ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම මෙම පනත් කෙටුම්පතේ මූලික අරමුණ වේ. එමෙන්ම, සුනඛයන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම, ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ජාතික හා ප්රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සහ දැනට ක්රියාත්මක වන (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කර නව නීතිමය රාමුවක් හඳුන්වාදීම ද මෙම පනත් කෙටුම්පතේ ප්රධාන අරමුණු වේ.
පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවේදී සුනඛයන්ට ජලභීතිකා එන්නත ලබා දීමේ වයස් සීමාව සම්බන්ධයෙන් පවතින පරස්පරතා ඉවත් කිරීමේ අවශ්යතාව පිළිබඳව අවධානය යොමු විය. එහිදී සුනඛයන්ට පළමු ජලභීතිකා එන්නත ලබා දිය යුතු වයස සම්බන්ධ විධිවිධාන පැහැදිලිව දැක්වීමේ වැදගත්කම සාකච්ඡා කෙරිණි.
වීදි සුනඛයන්ට ස්වේච්ඡාවෙන් ආහාර ලබාදෙන, රැකවරණය සලසන හෝ ප්රතිකාර සඳහා උපකාර කරන පුද්ගලයන්ගේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය. එවැනි පුද්ගලයන් ස්වේච්ඡාවෙන් සුනඛයන්ට උපකාර කිරීම පමණක් හේතුවෙන් ඔවුන්ගේ නීත්යනුකූල හිමිකරුවන් ලෙස සැලකීම හෝ සුනඛ හිමිකරුවන්ට අදාළ සියලු වගකීම් ඔවුන් මත පැවරීම වැළැක්වීම සඳහා විධිවිධාන පැහැදිලි කිරීමේ අවශ්යතාව සාකච්ඡා කෙරිණි.
සුනඛ වන්ධ්යාකරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ අතර, එය පශු වෛද්ය අධීක්ෂණය යටතේ ශල්යකර්ම මඟින් සිදු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. හෝමෝන එන්නත් භාවිතය ඇතුළු විකල්ප ක්රම සම්බන්ධයෙන් පවතින ගැටලු සැලකිල්ලට ගනිමින්, සත්ව සුභසාධනය තහවුරු වන පරිදි අදාළ විධිවිධාන සකස් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
සුනඛයන් ලියාපදිංචි කිරීමේ ක්රමවේදය විධිමත් කිරීම සහ එම වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් පනවා ඇති දඩ මුදල් සංශෝධනය කිරීමේ යෝජනා ද සාකච්ඡා කෙරිණි. වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කරන මධ්යස්ථාන නියාමනය ශක්තිමත් කිරීම, එම මධ්යස්ථානවල වගකීම් පැහැදිලි කිරීම සහ සත්ව හිංසනය වැළැක්වීම සඳහා අදාළ දඩ මුදල් හා දඬුවම් සංශෝධනය කිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.
ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි සැක කරන සුනඛයන් නිරීක්ෂණය කිරීමේදී විධිමත් ක්රමවේදයක් අනුගමනය කිරීම සහ පශු වෛද්ය පරීක්ෂණ මත පදනම්ව තීරණ ගැනීමේ වැදගත්කම ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික හා ප්රාදේශීය උපදේශක කමිටු පිහිටුවීමේදී ඒවායේ සංයුතිය, වගකීම් සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. නීතිමය කටයුතු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය සහ අදාළ විශේෂඥ ආයතනවල දායකත්වය ලබාගැනීමේ වැදගත්කම ද අවධානයට යොමු විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

