ශ්‍රී ලංකාවේ තාරකා ඉබ්බන් 206 දෙනෙකු "වියළි මුහුදු ආහාර" ලෙස සදහන් කරමින් ව්‍යාජ ලේඛන උපයෝගී කර ගෙන නීතිවිරෝධී ලෙස මැලේසියාවට යැවීමට කටුනායක ගුවන් තොටුපළ අපනයන ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත ජා - ඇළ ප්‍රදේශයේ අපනයනකරුවෙකු විසින් රැගෙන විත් තිබියදී ඊයේ (11දා) රාත්‍රී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ද ප්‍රකාශ කළේය.
මෙම තාරකා ඉබ්බන් ශ්‍රී ලංකාවේ වියළි කළාපීය ප්‍රදේශ වල ජනතාව " මේවර " ඉබ්බන් ලෙසද හදුන්වති. මෙම ඉබ්බන් මැලේසියාව , තායිවානය යන රටවල සුරතල් සතුන් ලෙස ඇති කිරීම සිදු කරති.
මෙම තාරකා ඉබ්බන් ඉන්දියාව සහ පකිස්තානය යන රටවල ද වාසය කළත්, ශ්‍රී ලංකාවේ වාසය කරන මෙම ඉබ්බන් සුවිශේෂී වර්ණ රටාවකින් යුතු වීම නිසා ඔවුන්ට විශේෂ ඉල්ලුමක් ජාත්‍යන්තර වශයෙන් පවතින බව ලෝක රේගු සංවිධානයේ, ජාත්‍යන්තර වනජීවී වෙළෙඳාම පිළිබඳ තාක්ෂණික සහ පුහුණු උපදේශක රේගු අධිකාරී හසන්ත ගුරුගේ මහතා පැවසීය.
කුඩා ප්‍රමාණයේ මෙම ඉබ්බෙකු එම රටවල ඇමෙරිකානු ඩොලර් 200 වැනි මිළකටත්, ලොකු ප්‍රමාණයේ ඉබ්බෙකු ඇමෙරිකානු ඩොලර් 3,000 ක මිළකටත් අලෙවි වන බව හසන්ත ගුරුගේ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම තාරකා ඉබ්බන් පුත්තලම විල්පත්තුව සහ කල්පිටිය යන ප්‍රදේශ වලින් එකතු කර ගෙන ඇති බවට රේගු විමර්ශන වල දී අනාවරණය වී ඇති අතර ඔවුන් රිජිෆෝම් පෙට්ටි 06 ක් තුළ අසුරා කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි .
මෙම ජීවී ඉබ්බන් තොගය 02/11 දින රාත්‍රී 11.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යන එයා ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 046 දරන ගුවන් යානයට පැටවීම සදහා කටුනායක ගුවන් තොටුපළ අපනයන ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන විත් තිබුණි .
මේ වනවිට මෙම ඉබ්බන් තොගය අපනයනය සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ ජා - ඇළ ප්‍රදේශයේ 55 හැවිරිදි පුද්ගලයෙකු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුව මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණයක් පවත්වනු ලබන අතර , ඉන් අනතුරුව මෙම ඉබ්බන් සුදුසු පරිසරයකට මුදා හැරීම සදහා වනජීවී දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතය.
