විත්තිකරු රෝගීව රෝහල් ගත කොට ඇති බව නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරයා කළ දැනුම්දීමක් සැලකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
2010 ජනවාරි 01 වැනිදාත් 2014 දෙසැම්බර් 31 වැනිදාත් අතර කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉකුත් යහපාලන රජය සමයේ විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම වත්කම් නඩුව ගොනුකර ඇත.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිට නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා රෝහල්ගත වී ඇති බව අද පෙරවරුවේ තමන්ට දැනුම් දුන්නේ යැයි කීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විත්තිකරුගේ ඇපකරුවන්ට හෙට දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙසත් නියම කළේය.
නඩුව හෙට 13දා කැඳවීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.