රටට ප්රශ්න ඇතිවූයේ විධායක ජනපතිධුරය නිසා බවත් පක්ෂයක් ලෙස විධායක ජනපතිධුරය අහෝසි කළ යුතුමයි කියන මතයේ ශ්රී ලංකා නිදහස් පක්ෂය සිටින බවත් හිටපු ජනපති මෛත්රිපාල සිරිසේන මහතා පැවැසීය.
ගම්පහ දිස්ත්රික් නියෝජිත සමුළුව ඊයේ (19දා) නයිවලදී පැවැති අවස්ථාවේදී එය අමතමින් හිටපු ජනපතිවරයා මේ බව පැවැසීය.
"අපි දන්නවා හෙට අනිද්දා ආණ්ඩු බලයක් ලබා ගන්න බෑ. සමහර ටයි කෝට් මහගෙන ජනාධිපති අපේක්ෂකයෝ ඉන්නවා. පඳුරකට පයින් ගහපුවාම 15ක් විස්සක් විසිවෙනවා.
අද තියෙන ප්රශ්නය බලය පිළිබඳ ප්රශ්නයක් නෙමෙයි. අද තියෙන ප්රශ්නය ජනතාව විඳින දුකෙන් ජනතාව බේරා ගැනීම වෙනුවෙන් අප විසින් කළ යුතු කාර්යය කුමක්ද කියන එකයි.
ඇවිලෙන ගින්දරට පිඳුරු දාන්න අපි ලෑස්ති නෑ. ඒක අපේ ප්රතිපත්තිය නෙමෙයි. අපි රටක් විදිහට අපි ඉන්නේ ගිනි කන්දක් උඩ. මේ රටට හෙනහුරා ලැබුවේ මේ ජනාධිපතිධුරය (විධායක) ඇති කළාට පස්සේ.
අපි පක්ෂයක් ලෙස දරණ එකඟතාව තමයි මේ විධායක ජනපතිධුරය අහෝසි කළ යුතුමයි කියන එක. රට ප්රජතන්ත්රවාදී වෙන්න ඕන. එතකොට තමයි ලෝකේ රටවල් සලකන්නේ."