තමන් වහන්සේ මල්වතු පාර්ශ්වයේ මහනායක ධුරයට පත්ව ගෙවුණු විසි වසරක කාලය තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව විවිධ දේශපාලකයන් ලබා දුන් පොරොන්දු මතකයේ තිබෙන බවත් ඒ සියලු දේශපාලකයන් ජනාධිපති පුටුවට ගිය පසු එම පොරොන්දු අමතක කළ බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක හිමියෝ පැවසූහ .
හිටපු කථානායක, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ඊයේ (02දා) මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේදී මහ නාහිමියන් ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසූහ.
ජනාධිපතිවරණයක් පැමිණි පසු විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු දුන් සියලු නායකයන් ජනාධිපති ධුරයට පැමිණි පසු අමතක කොටකටයුතු කළ බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ද මෙම මාතෘකාව කරලියට ගෙනවිත් සුපුරුදු පරිදි ජනාධිපතිවරණයෙන් පසු එය යටපත් කරනු ඇති බවත් නාහිමියන් මෙහිදී අවධාරණය කළහ.
අලුත් අවුරුද්දක් එළඹි පසු කිරි උතුරුවා ප්‍රතිඥා දෙමින් වැඩ ආරම්භ කොට ටික දිනක් ගිය පසු පෙර තත්ත්වයෙන්ම වැඩ කරන රටක ජනතාවාදී වෙනස්කම් බලාපොරොත්තු විය නොහැකි බවද එහිදී මහානායක හිමියන් වැඩිදුරටත් අවධාරණය කළහ.
එහිදී කරු ජයසූරිය මහතා අදහස් පළ කරමින් පවසා සිටියේ, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ගත් සියලු උත්සාහයන් අවස්ථාවාදී දේශපාලනය නිසා ව්‍යර්ථ වී ගිය බවයි.
දෙමළ ඩයස්පෝරාව නියෝජනය කළ පිරිස මෙතෙක් කල් රටට එරෙහි මතයක සිටියත් ඔවුන් මේ වන විට රටේ සංවර්ධනය වෙනුවෙන් සහාය දීමට එකඟතාවය පළ කර තිබෙන බවත් ඔවුන්ගේ මතය එක්වරම ප්‍රතික්ෂේප නොකර ඒ සම්බන්ධව සාකච්ඡා කර පොදු මතයට ඒම වැදගත් බවද ඒ මහතා අවධාරණය කළේය.
මෙරට සිංහල හා දෙමළ ජන කොටස් මේ වන විටත් ජීවත් වන්නේ එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන් බවත් පටු අදහස් දරන කණ්ඩායම් මෙම ජන කොටස් දෙකෙහිම සිටින බවද අවධාරණය කළේය.