විදේශ රැකියාවක නිරතවන ශ්‍රි ලාංකික ශ්‍රමිකයෙකුට රැකියාව අතරතුරදී සිදුවන මරණයක් සඳහා ගෙවීම් කරනු ලබන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද දින (24) කාර්යාංශයේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.එහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා,
“පසුගිය වසර තුළදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් විශාල වැඩකොටසක් කළා. කාර්යාංශයේ කටයුතු සම්බන්ධයෙන් එල්ල වුණු චෝදනාවලට පිළිතුරක් විදිහට නීතිය, ආධිපත්‍ය සාධාරණත්වය ස්ථාපිත කිරීමට පොලිස් නිළධාරීන් 16 දෙනෙකුගෙන් යුත් විශේෂ විමර්ශන ඒකකයක් පිහිටවුවා. ඒ වගේම විදේශ රැකියා වංචනිකයින්ට හසුවූවන්ට රුපියල් මිලියන 234ක මුදලක් යළි අයකරදීමට හැකිවුණා. මේ වන විට කාර්යාංශ පනත යාවත්කාලීන කිරීමටත් අවශ්‍ය පියවර ගනිමින් පවතිනවා.
මේ වසරේ අගෝස්තු වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ වසරේ අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.2 ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙයි කියලා. ඒ වගේම මේ වන විට ලාංකිකයින් 226,240 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගතවෙලා මේ වසරේ ලක්ෂ 3ට ආසන්න ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගතවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මේ ශ්‍රමිකයින්ට ලබාදෙන සුභසාධන පහසුකම් අපි පුළුල් කිරීමට අපි මේ වන අවශ්‍ය පියවර අරන් තියෙනවා. විදේශ රැකියාවකදී සිදුවන මරණයක් සඳහා රක්ෂණ වන්දි වශයෙන් ලබාදුන්නේ ලක්ෂ 6ක වන්දි මුදලක්. අපි කාර්යාංශය මගින් ලක්ෂ 14ක මුදලක් ඊට එකතු කරමින් ලක්ෂ 20ක වන්දි ප්‍රමාණයක් ලබාදීමට කාර්යාංශය පියවර අරගත්තා.
ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින සැමියට හෝ බිරිඳට ව්‍යාපාරයක් ආරම්භ කරන්න ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ලබාදෙන ශිෂ්‍යත්ව මුදල් ඉහළ නැංවීමට අපි මේ වන විට පියවර අරන් තියෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට ලැප්ටොප් පරිගණක ලබාදීමට තීරණයක් ගත්තා. අපි ජනාධිපති අරමුදලෙන් විදෙස් ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමට ඇති හැකියාව සම්බන්ධව සාකච්ඡා කරමින් පවතිනවා.” යනුවෙන් සඳහන් කළේය.