කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා 2023 මැයි 18 වැනි දින නිකුත් කළ ප්‍රකාශය මුළුමනින්ම හෙළා දැක ප්‍රතික්ෂේප කළේ ය.
දේශපාලන නැඹුරුවක් සහිත මෙම ප්‍රකාශය මතභේදාත්මක ප්‍රකාශයක් බවත්, එය කැනඩාවේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතා සඳහා නිකුත් කළ එකක් බවත් අමාත්‍ය සබ්රි මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.
එල්ටීටීඊ සංවිධානය දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙහෙයවූ ත්‍රස්තවාදී යුද ගැටුම මධ්‍යයේ සිදු වූවා යැයි කියන ‘ජන සංහාරය’ පිළිබඳ ඉදිරිපත්ව ඇති මෙම පදනම් විරහිත චෝදනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා රජය ආර්ථික ස්ථාවරත්වය, සාමය සහ ප්රතිසන්ධානය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරමින් සිටින මෙම සුවිශේෂී අවස්ථාවේ දී, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදු කළ මෙම ප්‍රකාශයේ ඇති සාවද්‍ය සහ පදනම් විරහිත චෝදනා හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ධ්රැවීකරණයට ලක් විය හැකි බවද විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.
මෙම ‘ජන සංහාරය’ ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද්දක් බවට පළ වන අත්තනෝමතික හා සාවද්‍ය චෝදනා මෙහෙයවනු ලබන්නේ, ඩයස්පෝරාවේ සිටින බෙදුම්වාදී න්‍යාය පත්‍රයක් සහිත සහ දේශපාලනික වශයෙන් පොළඹවන ලද ශ්‍රී ලංකා විරෝධී සුළුතරයක් විසින් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.
කැනඩාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවකු වන ශ්‍රී ලංකාව, කැනේඩියානු රජයේ සහයෝගය මෙරටට ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර, අන්තර්ග්‍රහණීය සංවර්ධනය සහ තිරසාර සාමය පිළිබඳ අපගේ පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කිරීමේ දී, කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රජාව ඒ සඳහා ඵලදායි ලෙස සම්බන්ධ කර ගන්නා අතරතුර, දෙරටේ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය වන ආකාරයේ සබඳතා පවත්වන ලෙස කැනඩාව දිරිමත් කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.