විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හෙට (8දා) සහ අනිද්දා (9දා) යන දෙදින සිංගප්පූරුවේ සංචාරයක නිරත වීමට නියමිත ය.
ඒ සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා සිදු ආරාධනයකට අනුවයි.
එම සංචාරය අතරතුර අමාත්‍ය පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍ය බාලක්‍රිෂ්ණන් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර මුදල් අමාත්‍ය ලෝරන්ස් වොන්ග් මහතා, නීතිය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය කේ ෂන්මුගම් මහතා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිත ය.
ඉන් අනතුරුව අමාත්‍යවරයා ජූනි මස 10 සිට 11 යන දිනවල පැවැත්වෙන 19 වැනි ෂැංග්‍රි-ලා සංවාදය: ආසියානු ආරක්ෂක සමුළුව (IISS Shangri-L Dialogue: Asia Security Summit) සඳහා සහභාගී වනු ඇත.
අමාත්‍යවරයා මෙම ආරක්ෂක සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා නියෝජනය කරයි. IISS ෂැංග්‍රි-ලා සංවාදය ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුව වන අතර එමගින් ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාව, සහයෝගීතාව සහ අභියෝග පිළිබඳව අවධානය යොමු කෙරේ. අමාත්‍ය පීරිස් මහතා අමාත්‍ය මට්ටමේ වට මේස රැස්වීම්වලට ද සහභාගි වීමට නියමිත ය.
අමාත්‍යවරයා ෂැංග්‍රි-ලා සංවාදයට සමගාමීව ජපාන අග්‍රාමාත්‍යවරයා, කටාර් රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා, බහරේනයේ විදේශ අමාත්‍යවරයා, එක්සත් රාජධානියේ ආරක්ෂක රාජ්‍ය ලේකම්වරයා, එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම්වරයා, යුරෝපා සංගමයේ ඉහළ නියෝජිතයා සහ ICRC හි ආසියා සහ පැසිෆික් කලාපීය අධ්යක්ෂවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව දැනුම්වත් කිරීමටත්, ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒම මෙන්ම රටේ අනාගත අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කිරීමටත් මෙම ද්විපාර්ශ්වික රැස්වීම් මගින් අමාත්‍යවරයාට අවස්ථාව සැලසේ.