ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලපත්රයක් රහිතව රුමේනියාව, ජපානය හා දකුණු කොරියාව යන රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය සමත් වී තිබේ.
රුමේනියාව, ජපානය හා දකුණු කොරියාව යන රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි ලැබුණු අතර, ඒ අනුව 2022.08.29 දින මෙම වැටලීම මෙහෙයවන ලදී.
බත්තරමුල්ල, පැලවත්ත, පන්නිපිටිය පාර, නො 474/1/1 යන ලිපිනයේ SS Global Tec යන නමින් පවත්වාගෙන ගිය එම රැකියා නියෝජිතායතනය වැටලීමේදී එම ආයතනය පවත්වාගෙන ගිය රජයේ ආයතනයක හිටපු සභාපතිවරයෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. වැඩිදුර පරික්ෂා කිරීමේදී එම ආයතනය තුළ තිබී විදේශ ගමන් බලපත්ර, විදේශ රැකියා සඳහා අයදුම්පත් හා මුදල් ලබාගන්නා ලද රිසිට්පත් රැසක්ද විමර්ශන නිළධාරින් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු විදේශ රැකියා ලබා දෙන බවට පුද්ගලයින් 500ට අධික පිරිසකගෙන් රුපියල් ලක්ෂ 21ක පමණ මුදලක් ලබාගෙන ඇති බවට වැඩිදුර විමර්ශනවලදී හෙළිවිය. මෙම සැකකරු එදිනම කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළ අතර, නොවැම්බර් මස 28 දින නැවත නඩුව යළි කැඳවීමට නියමිතයි