විදෙස් රැකියාවල නිරත දෙමාපියන්ගේ දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටීනම් මසකර රු 10000ක්
විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රු. 10,000/- ක දීමනාවක් ගෙවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පැවසූහ.
එම කාරක සභාව ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී නිලධාරීහු මේ බව සඳහන් කළහ.
කුඩා දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීම හේතුවෙන් සමාජය තුළ පැන නගින ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස මීට පෙර කාරක සභාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී (දේශීය කටයුතු) වෙත මෙම කාරක සභාව ලබා දුන් උපදෙස්වල ප්‍රගතිය විමසීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු මේ බව පවසා සිටියහ. මේ අනුව විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ මාසික ආදායම ඇ. ඩො. 400ට වැඩි නම් මෙම දීමනාව හිමි වන බවත්, ඒ සඳහා මූලිකව රු. මිලියන 10ක මුදලක් වෙන් කර ඇති බවත් එම නිලධාරීහු පැවසූහ.
එසේම, මීට අදාළ අනුමතිය ලබා ගැනීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවත්, ඉන්පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා අදාළ පිළිගත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයට මාසිකව ගෙවීම් සිදු කළ හැකි බවත් ඔවුහු සඳහන් කළහ. වඩාත් සාධනීය පියවරක් ලෙස හඳුනාගත හැකි මෙය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිනි ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

