2019 වසරේ පවත්වන ලද සීමිත තරඟ විභාගය පදනම් කරගෙන විදුහල්පති තුන්වන ශ්‍රේණිය සඳහා නව පත් කිරීම් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (28) නිකුත් කළේය.
රත්නපුර, අමුහේන්කන්ද ශ්‍රී විමලසාර විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ගුරුවරයකු වශයෙන් සේවය කරන පූජ්‍ය බුද්දංකෝට්ටේ සුමනචන්ද්‍ර හිමියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය නව තරඟ විභාගයක් නොපවත්වා මෙම පත් කිරීම් තහනම් කරමින් නිකු් කළ අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වීමටද වැඩිදුරටත් නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මළල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළේය.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පුරප්පාඩු 1918 ක් පිරවීම සඳහා 2019 පෙබරවාරි 13 වැනිදා පපැවැතත්වු තරග විභාගය සඳහා ගුරුවරුන් 23000ක් පමණ ඉදිරිපත් වූ බවත් ඉන් 3881 සමත් වූ බවත් ඉන් 1918 දෙනෙකුට පත්වීම් පිරිනැමුණු බවත් සඳහන් කරන පෙත්සම්කාර හිමියන් එසේ තිබියදී විදුහල්පති සේවයේ තුන් වන ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීමට පසුගිය මැයි 08 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයිද සඳහන් කරති.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ගැසට් නිවේදනය යටතේ පුරප්පාඩු 4718 පිරවීමට නියමිත බවත් ඒ අනුව 2019 වසරේ පවත්වන ලද තරඟ විභාගයේදී සමත්වූවන් පදනම් කරගෙන මෙම පුරප්පාඩු පිරවීමට වගඋත්තරකරුවන් කටයුතු සැලසුම් කර ඇති බවත් ඉන් සෙසු අපේක්ෂකයින්ට දැඩි අසාධාරණයක් වන බවත් පෙන්වා දෙන පෙත්සම්කාර හිමියන් නව තරඟ විභාගයක් පවත්වා අදාළ පත්වීම් පිරිනැමීමට අධ්‍යාපන බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.
මේ හේතූවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කරන්නැයිද පෙත්සම්කාර හිමියන් ඉල්ලා සිටිති.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරු මඩුල්ල පෙත්සම නොවැම්බර් 06 වැනිදා යළි කැඳවීමට නියම කළේය.