ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ඇති වී තිබෙන විදුලි සහ ඉන්ධන අර්බුදය නිසා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ඉන් පිටත පිහිටා ඇති කර්මාන්තශාලා බලවත් අපහසුතාවට ලක් වී පවතින හෙයින් මේ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කළද , ඔවුන් ඒ සදහා නිසි විසදුම් ලබා නොදීම නිසා මේ ආකාරයට රජය සහ මහජනතාව දැනුවත් කිරීමට තමන් පියවර ගත් බව නිදහස් වෙළෙඳ කළාප ආයෝජකයන්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා පැවසීය .
ඒ මහතා එසේ පැවසූවේ වර්තමාන විදුලි සහ ඉන්ධන අර්බුදය නිසා ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා මුහුණ දෙමින් සිටින දුෂ්කර තත්වය පැහැදිලි කිරීම සදහා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි නිදහස් වෙළෙඳ කළාප නිෂ්පාදකවරුන්ගේ ශ්‍රවණාගාරයේ අද (02දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මික ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
1978 අංක 04 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නිදහස් වෙළෙඳ කළාප 14 ක් සහ ඉන් පිටත ශ්‍රී ලංකාව පුරා තවත් කර්මාන්තශාලා 280 ක් පමණ පිහිටා තිබෙනවා . ඒවායේ සේවකයින් ලක්ෂ 04 ක් පමණ සේවය කරමින් සිටිනවා . මේ සියලුම කර්මාන්තශාලා වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන විදුලි කප්පාදුව සහ ඉන්ධන නොමැති වීම නිසා ඉතාම අමාරු , භයානක තත්වයකට පත් වී තිබෙනවා .එම නිසා මෙම කර්මාන්තශාලා වල දිනපතා මෙහෙයුම් කටයුතු අඩාල වී තිබෙනවා .
එනිසා මුලින්ම මේ පිළිබඳව බල ශක්ති අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත්තා . නමුත් ඒ පිළිබඳව කිසිම විසදුමක් ලැබී නැහැ . ඉන්පසුව මහජන උපයෝගීතා කොමිසම වෙත ද දැනුවත් කිරීම සිදු කළා . එයින් ද ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ .
මෙම කර්මාන්තශාලා සතුව දීර්ඝ කාළයක් ක්‍රියාත්මක කළ හැකි "ප්‍රයිම් " වර්ගයේ විදුලි ජනක යන්ත්‍ර නැහැ . බොහෝ කර්මාන්තශාලා සතුව පවතින්නේ හදිසි බිඳ වැටීමක් සිදු වුවහොත් , එයට මුහුණ දීමට අවශ්‍ය කුඩා , සැහැල්ලු විදුලි ජනක යන්ත්‍රයි .එමෙන්ම එම විදුලි ජනක යන්ත්‍ර මගින් විදුලිය නිපද වීම පිරිවැය අධික කටයුත්තක්.
එමෙන්ම මෙම කර්මාන්තශාලා පිහිටුවීමේදී , එම විදේශීය ආයෝජකයන් හට නොකඩවා ජලය , විදුලිය , ඉන්ධන ආදිය සැපයීම පිළිබඳව රජය සහතික වී තිබෙනවා .
මෙම පසුබිම යටතේ මෙම කර්මාන්තශාලා වෙත අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන ලෙස ඉල්ලීම් කළ ද , කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ හැර අනෙකුත් කළාප සහ කර්මාන්තශාලා වල විදුලි කප්පාදුව නොකඩවා සිදු කර ගෙන යමින් තිබෙනවා .
ඉන්පසුව මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ද අප පියවර ගත්තා . ඒත් මේ වනතුරු එයට ද නිසි ප්‍රතිචාරයක් නැහැ .
නමුත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා , එහි අධ්යක්ෂ මණ්ඩලය මෙම ගැටළුව පිළිබඳව ඔවුන්ට හැකි අයුරින් මැදිහත් වීමට කටයුතු කර තිබෙනවා .
මේ නිසා අපි ඉතා අමාරු අඩියකට පත් වී සිටිනවා . අපි දන්නේ නැහැ කාට කියන්න ද , කුමන පිළිතුරක් කෙසේ සපයන්න ද කියා .එනිසා මේ පිළිබඳව රජය සහ මහජනතාව දැනුවත් කිරීමට මෙසේ අපි පියවර ගත්තා .මේ යටතේ අපි ප්‍රධාන කරුණු 03 ක් ඔවුන් වෙත ඉදිරිපත් කරනවා.
ඉන් පළමු වැන්න විදුලි අර්බුදය.
බොහෝ කර්මාන්තශාලා සතුව මේ වනවිට විදුලි ජනක යන්ත්‍ර පැවතිය ද , ඒවා ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය ඉන්ධන නොමැති නිසා අර්බුදයක් පැන නැගී තිබෙනවා .
දෙවැන්න භාණ්ඩ නිෂ්පාදනයට සහ අපනයන කිරීම සදහා යොදා ගන්නා වාහන වෙත ඉන්ධන නොමැති වීම .එම නිසා අමුද්‍රව්‍ය මෙරටට ගෙන්වා ගැනීමටත් , නිෂ්පාදන අපනයන කිරීමටත් මෙම තත්වය දැඩි බාධාවක් වී තිබෙනවා .එහිදී විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ , කන්ටේනර් රථ මෙහිදී තවදුරටත් ධාවනය කිරීමට නොහැකි තත්වයක් උදා වී තිබෙනවා .
තුන් වැන්න සේවකයින් ජීව බුබුලක් සේ ප්‍රවාහනය කිරීමට යොදවා ඇති බස් රථ තවදුරටත් ධාවනය කිරීමට නොහැකි තත්වයක් ද ඉන්ධන නොමැති වීම නිසා උදා වී තිබෙනවා .
ශ්‍රී ලංකාවේ වාර්ෂික මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 11ක් එයින් ඇගලුම් අපනයනය කර්මාන්තය තුළින් ඩොලර් බිලියන 05 ක් උපයා ගනු ලබනවා .ඇගලුම් නොවන අපනයන තුළින් ඩොලර් බිලියන 03 ක් උපයා ගනු ලබනවා . ඒ අනුව රටේ මුළු කාර්මික අපනයන , වාර්ෂික අපනයන ආදායමෙන් 80% ක් .
එසේම පසුගිය කොරෝනා වසංගත රෝගී සමයේ දී පවා මෙම කර්මාන්තශාලා වැඩ කිරීම නිසා ශ්‍රී ලංකාවට මේ තත්වය යටතේ රටේ යම් තරමකින් හෝ විදේශ විනිමය සංචිත වලට ඩොලර් උපයා ගැනීමට හැකි වී තිබුණා .
ඉතිං මේ තත්වය පිළිබඳව රජය මැදිහත් වී අඛණ්ඩ විදුලි සහ ඉන්ධන සැපයුමක් ලබා දීමට පියවර ගත යුතුයි .
එසේ නොවුණ හොත් මෙම කර්මාන්තශාලා වැසී යාම වලක්වා ගත නොහැකි වනවා . එයින් රටට විදේශ විනිමය මෙන්ම මෙම කර්මාන්තශාලා තුළ සේවය කරන සේවකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් ද මහත් අසීරුතාවට පත් වීමට ඉඩකඩ පවතිනවා යැයි ද ධම්මික ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය .
මෙම අවස්ථාවට නිදහස් වෙළෙඳ කළාප ආයෝජකයෙකයන්ගේ සංගමයේ කමිටු සාමාජික , ෆින්ටෙක් කර්මාන්තශාලා පාලන අධ්යක්ෂ ටිරෝන් වෙත්තසිංහ මහතා ද සහභාගී වී සිටියේය .