ලංකා විදුලිබල මණ්ඩලය විසින් 3.34%ක විදුලි ගාස්තු අඩු කිරීමක් යෝජනා කර තිබුණ ද, 20% - 25% අතර අගයකින් පහසුවෙන් ම විදුලි ගාස්තු අඩු කළ හැකි බවට මහජන උපයෝගිතා කොමිසම විසින් සිය අදහස් හා යෝජනා ලබාදීමේ දී නිරීක්ෂණය කර ඇතැයි වාර්තා වේ.
මෙම විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාවේ දී විදුලි ගාස්තු සංශෝධනය කරන කාලය නිසි ලෙස සැලකිල්ලට ගෙන නොමැති අතර, ඇස්තමේන්තුගත ලාභය මාස 12ක් පුරා බෙදාහැර තිබේ. විදුලි ගාස්තු සංශෝධනය 2024 වසරේ පෙබරවාරි මස 01 වැනිදා ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති නමුත් සංශෝධනය ක්‍රියාවට නැංවිය හැකිවන්නේ පෙබවරවාරි මස මැද කාලයේ දී බව ද වාර්තා වේ. ඒ අනුව අතිරික්ත ලාභය මාස 10.5ක කාලය තුළ බෙදාහැරෙන පරිදි ගණනය කළ යුතු බවට ද මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ කර ඇතැයි වාර්තා විය.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාවේ දී 2024 සඳහා විදුලිය බෙදාහැරීමේ පිරිවැය ලෙස රුපියල් මිලියන 133,235.20 කට අධික ඇස්තමේන්තුවක් සිදු කර ඇති අතර, පසුගිය වසර 6ක කාලයක් සැලකිල්ලට ගැනීමේ දී වැඩිම අගයක් වාර්තා වී ඇති 2022 වර්ෂයේ විදුලිය බෙදාහැරීමේ පිරිවැය දැක්වෙන්නේ රුපියල් මිලියන 66,709ක් ලෙසය. 2024 සඳහා යෝජනා කර ඇති ජනන ධාරිතා පිරිවැය ද අධිතක්සේරුවක් බවත්, ඒ අනුව පසුගිය වසර 6ක දත්ත සමග සැසඳීමේ දී 2024 වසර සඳහා ජනන ධාරිතා ගාස්තුව වශයෙන් රුපියල් මිලියන 95,728.72ක අමතර වැය බරක් දැරීමට සිදුවන බවත් නිරීක්ෂණය වී ඇත. වැඩිම ජනන ධාරිතා පිරිවැයක් වාර්තා වී ඇති 2019 වසරේ ද එහි අගය සඳහන් වන්නේ රුපියල් මිලියන 44,647.15ක් ලෙසය. පසුගිය වසර පිළිබඳ සැලකීමේ දී එය දැක්වෙන්නේ රුපියල් මිලියන 35,786ක් ලෙසය.
ඒ අනුව ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකො) සත්‍ය බෙදාහැරීමේ පිරිවැය තොරතුරු ඉල්ලා ඇති අතර, එම දත්ත ලෙකො බෙදාහැරීම් පිරිවැය ද සමස්ත පිරිවැයට ගැලපීමට නියමිතය. ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් කලාප 4හි සමස්ත බෙදාහැරීම් පිරිවැය රුපියල් මිලියන 64,915ක් වන අතර, එය අධිඇස්තමේන්තුවක් බවට නිරීක්ෂණය කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් මූල්‍ය පිරිවැය ලෙස 2024 වසර සඳහා රුපියල් මිලියන 53,910.90ක් ඉදිරිපත් කර ඇති බව වාර්තා විය. ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකර ඇති වාතාවරණයක් තුළ ඉදිරිපත් කර ඇති මෙම මූල්‍ය පිරිවැය තවදුරටත් සමාලෝචනය කළ යුතු යැයි මහජන උපයෝගිතා කොමිසම සිය අදහස් හා යෝජනා ලබාදීමෙ දී සඳහන් කර ඇතැයි වාර්තා විය.
ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම් ප්‍රකාශයට අනුව 2023 වර්ෂයේ දී ලංකා විදුලිබල මණ්ඩලය ඉපයූ ලාභය රුපියල් මිලියන 48,722ක් ලෙස සඳහන් වන අතර, යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේ දී ලාභය සැලකිල්ලට ගෙන නොමැති බව වාර්තා වේ.