විදුලි බිඳ වැටිම්වලින් සියයට 70ක් හදයි, නැගෙනහිරට විශාල ලෙස විදුලිය බිඳ වැටීමක්
සුළි කුණාටුව නිසා සිදුවූ විදුලි බිඳ වැටීම්වලින් සියයට 70කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බවත් රන්ටැඹේ සිට මහියංගනය දක්වා විදුලිය රැගෙන යන කිලෝ වොට් 132 අයත් කුළුණක් හා රැහැන් පද්ධතියට සිදුවූ හානිය හේතුවෙන් නැගෙනහිර විදුලි සැපයුම තදබල ලෙස බිඳ වැටී ඇති බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.
"මේ ස්වභාවික ආපදා තත්වය අපේ රටේ විදුලි ක්ෂේත්රය මුහුණ දුන්නු දැවැන්තම විනාශයක් සහ අභියෝගයක්. ඊට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් තත්වය හොඳින් කළමනාකරණය කර ගන්න අපට පුළුවන් වුණා කියලා මා හිතනවා. ඒ වගේම ඒ සඳහා ඉතා විශාල කැපවීමකින් සහ වෙහෙස වී කටයුතු කළ වගේම අඛණ්ඩව දැනටත් ඒ කටයුතුවල යෙදිලා ඉන්න විදුලි සේවකයින්ට මගේ ස්තූතිය පුද කරනවා.
ඉතා දුෂ්කර තත්වයක් තුළත් බිඳ වැටීම් වලින් 70%කට අධික ප්‍රමාණයක් ඉතා ඉක්මණින් අළුත්වැඩියා කරන්න අපට පුළුවන් වුණා.
රන්ටැඹේ සිට මහියංගනය දක්වා කිලෝ වෝල්ට් 132 විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට අයත් කුළුණක් හා රැහැන් පද්ධතියේ සිදුවූ විනාශය නිසා නැගෙනහිර පළාතේ විදුලි සැපයුම තදබල ලෙස බිදවැටිලා තියෙනවා. තාවකාලික සම්බන්ධතාවයක් හරහා ඒ ප්‍රදේශයේ රෝහල් වැනි වැදගත්ම ස්ථානවලට විදුලි සැපයුම ලබා දෙන්නත් ප්‍රදේශයේ එක් එක් ස්ථානයට කඩින් කඩ පැය දෙක බැගින් විදුලිය ලබාදීලා තත්වය කළමනාකරණය කර ගන්නත් දැනට කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම තාවකාලික කුළුණක් ඉදි කිරීම ආරම්භ කරලා තියෙනවා. දින කිහිපයක් තුළ එහි ඉදිකිරීම් අවසන් කරලා විදුලි බලය යථා තත්වයට පත් කරන්න කටයුතු කරනවා.
ඒ වගේම උකුවෙල බෝවතැන්න කිලෝ වොල්ට් 132 මාර්ගයේ කුළුණකට හානි සිදුවෙලා තියෙනවා. එතැනත් තාවකාලික කුළුණක් ඉදි කිරීම ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම දැනටත් ජලය බැසයමින් පවතින ප්‍රදේශවල අළුත්වැඩියා කටයුතු ක්‍රම ක්‍රමයෙන් ආරම්භ කෙරෙන අතර ඒ අනුව විදුලි බලය යථා තත්වයට පත්කිරීම සිදු වේවි. තත්වය අවබෝධ කරගෙන ඉවසිලිවන්තව සහ සහයෝගශීලීව කටයුතු කරන විදුලි පාරිභෝගිකයන්ටත්, විවිධ අයුරින් සහයෝගය ලබා දෙන සියළු දෙනාටත්, තවදුරටත් ස්තූතිවන්ත වෙනවා "
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

