විදුලි බිල සහ අනෙකුත් සේවාවන් වල ගාස්තු වැඩි වන්නේ නම් එම වැඩිවන ගාණට සාපේක්ෂව ජල බිල්පත් වල මිල ඉහළ දැමීමට සිදු වන බව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද(22දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙතෙක් ජල බිල්පත් මිල ඉහළ දැමීමට තීරණයක් ගෙන නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර - අද අපිට දැනගන්න ලැබෙනවා විදුලි බිල සියයට පන්සියයකින් ඉහළ දැමීමේ සූදානමක් තිබෙනවා කියලා. අද මහජනතාව ආර්ථික දුෂ්කරතා මැද්දේ ජීවත් වෙන එකත් බරක් බවට පත්වෙලා ඉන්නවා. ඔබතුමන්ලාගේ සූදානමක් තිබෙනවාද ජල ගාස්තුවත් වැඩි කරන්න?
ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත - ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවා. පළවෙනි ප්රශ්නය අදාල නොවේ. ඒක විදුලිබල ඇමතිතුමාගෙන් අහන්න. දෙවැනි ප්රශ්නය පිළිතුර විදුලි බලය වැඩිවීමක් සිදු වුනොත්, රටේ අනෙකුත් සියලු දේ වල වැඩිවීමක් සිදු වුනොත් ඒකට යන විදම සාපේක්ෂව ගණනය කරලා වැඩිවන මුදල තීරණය කරනවා. තවම පානීය ජල බිල්පත් වැඩි කිරීම සඳහා තීරණයක් අරගෙන නෑ. අවශ්‍ය වුනොත් අපි තීන්දුවක් ගන්නවා. මොකද ආයතන අපිට පාඩුවට දුවන්න පුලුවන් කමක් නෑ.