“රටේ වර්තමානයේ පවතින අර්බුද රාශියකටම හේතු වී තිබෙන්නේ කළමනාකරණ දුර්වලතායි. විශේෂයෙන් මෙවැනි විදුලි අර්බුදයක් නිර්මාණය වීම පාලනය කර ගැනීමට හැකියාව තිබුණා. නමුත් විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරිත්වයේ දුර්වලතා නිසා ජාතික විදුලි අර්බුදයක් දක්වා මෙම ගැටළුව ඉහළ ගොස් තිබෙනවා. මෙම විදුලි අර්බුදයට හේතුව විදුලි බල මණ්ඩලයේ කළමනාකරණ දුර්වලතා බව ඔවුන් පිළිගත යුතුයි” පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාධ්වේදීන් පිරිසක් අමාත්‍යවරයාගෙන් රටේ පවතින ගැටළුකාරි තත්ත්වයන් පිළිබඳව විමසු අවස්ථාවක දීය.
“සෑම වසරකම මාර්තු මාසයේ සිට ජූනි මස දක්වා කාලය තුළ නිසි පරිදි වර්ෂාව නොලැබීම නිසා විදුලිබලය උත්පාදනය කරන ජලාශ සිඳී යාමේ තත්ත්වයක් පවතිනවා. එවැනි අවස්ථාවන් හිදී විදුලිබල මණ්ඩලය විසින් ජලාශවල ඇති ජල මට්ටම් ආරක්ෂා කර විදුලි බල උත්පාදනයට පියවර ගන්නවා. මම විදුලි බල අමාත්‍යවරයා වශයෙන් සිටියදීත් මෙවැනි ගැටළු සහගත තත්ත්වයන් ආවා. මම ඒ වෙලාවේ තීරණය කළේ ජල විදුලිය උත්පාදනය හැකිතරම් අවම කර විකල්ප විදුලිබල උත්පාදන වැඩ පිළිවෙළට ප්‍රමුඛත්වය ලබා දීම.
නමුත් මෙවර එම ක්‍රියාවලිය සිදු වුනේ නෑ. ඒ වෙනුවට දිගට හරහට ජලාශවල ඇති ජලය උපයෝගි කර ගනිමින් ජල විදුලිය උත්පාදනය කළා. එක් අතකින් ඩීසල් මිල දී ගැනීමට මුදල් හිඟකම නිසා ඩීසල් බලාගාරවල විදුලිය නිෂ්පාදනය නැවතුනා. එමෙන්ම නියඟ තත්ත්වයත් නිසා ජලාශ සම්පුර්ණයෙන් ම සිඳී ගියා. මේ වනවිට ජල විදුලිය නිෂ්පාදනය මුළුමනින්ම නැවතිලා.
විදුලිය නිපදවන්නේ ඩීසල් බලාගාරවලින් සහ ගල්අඟුරු බලාගාරවලින් පමණයි. ඒ සඳහා දැරීමට සිදුවන පිරිවැය ඉහළ මට්ටමක පවතිනවා.මේ නිසා ලංකා විදුලිබල මණ්ඩලය දෛනිකව ලබන පාඩුව තවත් සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා.
නමුත් විදුලි බල මණ්ඩලය මතුවිය හැකි ගැටළු පුරෝකථනය කරමින් විකල්ප බලශක්තිය උත්පාදන මාර්ග කෙරෙහි අවධානය යොමු කර කටයුතු කළා නම් අද මෙවැනි තත්ත්වයක් උද්ගත වන්නේ නැහැ. අද දවසේ පැය හය හතක් රටේ ජනතාවට විදුලිය නැහැ. මෙවැනි තත්ත්වයක් උද්ගත වුනේ විදුලි බල මණ්ඩලයේ ආකර්යක්ෂමතාවය නිසායි. ජාතික විදුලි බල සැලැස්මක් නොමැතිකම නිසා යැයි ද පරිසර අමාත්‍යවරයා සඳහන් කළේය.
අපි දන්න විදියට ලංකා විදුලි සමාගම සතුව එකම විදුලිය උත්පාදන බලාගාරයක්වත් නැහැ. ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලබන විට ලංකා විදුලි සමාගම 2021 රුපියල් බිලියන 2.7ක ලාභයක් උපයලා තියෙනවා. ලංකා විදුලි සමාගම විදුලිය මිල දී ගන්නේ ලංකා විදුලිබල මණ්ඩලයෙන්. ඒ වගේම එහි මෙහෙයුම් සිදුවන්නේ බස්නාහිර පළාත, ගාල්ල වැනි සීමිත කොටසක පමණයි. ඔවුන් ලාභ ඉපයීමට හැකි වුයේ ඔවුන්ට හොඳ කළමනාකාරිත්වයක් තිබෙන නිසයි.”
