විද්‍යාවේදී හෙද උපාධිධාරීන්ට කඩිනමින් පත්විම්
හෙද අනුස්ථාපන හා සමායෝජන සය මාසික පුහුණු පාඨමාලාව (Nursing Orientation and Coordination Training) අවසන් කළ විද්‍යාවේදී හෙද උපාධිධාරීන් සඳහා ස්ථිර පත්විම් ලබා දීම පිළිබඳව විශේෂ සාකච්ජාවක් ඊයේ (20) පස්වරුවේ වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
දිවයින පුරා ස්ථාපිත රජයේ රෝහල් 31 ක ප්‍රායෝගික පුහුණුව සාර්ථකව නිම කරන ලද විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 517 දෙනෙකුහට ස්ථිර පත්විම් ලබා දීම, භාණ්ඩාගාරයෙන් අදාළ මුදල් වෙන් කරගැනීම, රෝහල්වලට අදාළව තේරීම් ලකුණු (Choice Mark) සටහන් කිරිම මැයි 24 දින සිදුකිරීම, ස්ථිර පත්විම් ලබා දීම ජුනි 10 දින හෝ ඊට පෙර ආසන්න දිනයක ලබා දිම, පත්වීම් ලබන හෙද උපාධිධාරීන් දිවයින පුරා මධ්‍යම රජයේ රෝහල්හි අවශ්‍යතාවය අනූව අනුයුක්ත කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමුකරමින් මෙහි දී දීර්ඝව සාකච්ජාවට භාජනය විය.
අවසන්වරට හෙද උපාධිධාරීන් හෙද අනුස්ථාපන හා සමායෝජන පුහුණුව වෙත බඳවා ගනු ලැබුවේ 2021 වසරේදී වන අතර, එවක පැවති රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනූව බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය භාණ්ඩාගාරය වෙතින් නොලැබීම හේතුවෙන් 2021 වසරේ සිට 2025 වසර දක්වා වසර 04 ක් මෙම පුහුණුව සඳහා බඳවා ගැනීම් ක්‍රියාවලිය නතරව තිබු බව මෙම සාකච්ජාවේ දී අනාවරණය විය. 2025 වසරේ දී නැවතත් අනුමැතිය හිමි වීමත් සමග මෙම පුහුණු පාඨමාලාවට බඳවා ගැනීම් සිදු කරනු ලැබීය.
රජයේ විශ්වවිද්‍යාල මගින් විද්‍යාවේදී ගෞරව හෙද උපාධිය සම්පූර්ණ කරන ලද උපාධිධාරීන් ශ්‍රී ලංකා හෙද සේවා ව්‍යවස්ථාවට අනුව හෙද අනුස්ථාපන හා සමායෝජන සය මාසික පුහුණු පාඨමාලාව සඳහා බඳවා ගැනීම සිදු කරනු ලබන අතර, එම පාඨමාලාව සාර්ථකව නිම කරන හෙද උපාධිධාරීන් දිවයින පුරා මධ්‍යම රජයේ රෝහල් තුළ පවතින පුරප්පාඩු ප්‍රමාණය සහ සේවා අවශ්‍යතාවය පිළිබඳව සළකා බලා III ශ්‍රේණියේ උපාධිධාරී හෙද නිලධාරීන් ලෙස සේවයට බඳවාගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කරනු ලබයි.

.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

