මෙම වසරේ මේ දක්වා මී උණ රෝගීන් 7,000ක් වාර්තා වී ඇති අතර, රෝගීන් සම්බන්ධයෙන් සිදු කරමින් පවතින විමර්ශන අවසන් වන තෙක් රෝගයෙන් මියගිය සංඛ්‍යාව සඳහන් කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය ප්‍රකාශ කළාය.
කෙසේවුවද, මෙරට තුළ සාමාන්‍යයෙන් වාර්ෂිකව මී උණ රෝගීන් 8,000ක් පමණ වාර්තා වන අතර, 125 දෙනෙකු පමණ ඉන් මියයන බව ඇය පෙන්වා දුන්නාය. ඒ අනුව රෝගීන්ගෙන් 05%ක් පමණ නිසි වේලාවට ප්‍රතිකාර නොලබා මියයන බව විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරිය, වැඩිදුරටත් සඳහන් කර සිටියේ, වසරේ මාර්තු, මැයි, සැප්තැම්බර්, ඔක්තෝබර් සහ දෙසැම්බර් යන කාලවලදී රෝගය ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.
එසේම රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර යනාදී දිස්ත්‍රික්කවල රෝගය බහුලව නිරීක්ෂණය වන බවත්, ඊට අමතරව ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක තුළ ගොවීන්ද අවදානමට ලක්ව ඇති බවත් ඒ මහත්මිය අවධාරණය කළාය. මීට අමතරව රත්නපුරය පතල් ආශ්රිත කටයුතු කරන පුද්ගලයන් මෙන්ම වැලි ගොඩ දමන අය අතරින්ද රෝගය බහුලව වාර්තා වී ඇති බව සඳහන්ය.
කුඹුරු ආශ්රිත කුණු දැමීම, මී ගහණය වැඩි වීමට හේතුවක් වී ඇති අතර, කුඹුරු ජලයෙන් ශරීරය සේදීම, ආරක්ෂිත උපකරණවලින් තොරව කුඹුරු වැඩ කිරීම රෝගය වැලඳීමට මූලික හේතුන් වී තිබේ. ඒ අනුව උණ, මස්පිඬු වේදනාව පවතියි නම්, හා මඩ ආශ්‍රිතව දිය කඩිති ආශ්‍රිතව කටයුතු කළේ නම්, එය මී උණ විය හැකි බැවින් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍ය වේ.
එසේම කුඹුරු වැඩ සිදුකිරීමට ප්‍රථම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හරහා රෝගය වැළැක්වීමේ ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම අනිවාර්ය වේ. මෙහිදී ගංවතුරට ලක් වූ ප්‍රදේශවල අයටද ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සිදු කෙරේ.
නිදර්ශනි වික්‍රමසිංහ