ඉහළ පොලියක් ලබා දෙන බව පවසා විවිධ පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොල්ගස්ඕවිට පාලගම ප්‍රදේශයේ පුද්ගලයකුට එරෙහිව මේ වනවිට පැමිණිලි දොළහක් ලැබී ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි .
එසේම තවත් පැමිණිලි ලැබෙමින් පවතින බව ද පොලිසිය වැඩිදුරටත් කියයි.
ඉකුත් 14 දා සවස පොල්ගස්ඕවිට පාලගම ඇටගහවත්ත ප්‍රදේශයේ නිවසකින් වාර්තා වූ කලහකාරී සිද්ධියක් විමර්ශනය කිරීමට ගිය කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මූල්‍ය වංචා කිරීමේ සිද්ධින් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙසේ පැමිණිලි 12 ක් ලැබී ඇති බව පොලිසිය පවසයි .
මෙම සැකකරු වසර 4ක පමණ සිට දිවයිනේ සුප්‍රසිද්ධ වෙළඳ ජාලයකට භාණ්ඩ සපයන අතර අතරමැදියකු බව පවසා විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගේන් මුදල් ලබාගෙන ඇති අතර ඒ සඳහා සියයට තිහක පොළී මුදලක් ලබා දෙන බවට පොරොන්දු වී තිබේ .
ඒ අනුව රුපියල් ලක්ෂ 10 ක මුදලක් ආයෝජනය කළ අයෙකුට මාස තුනක් කල් පිරුණ විට ලක්ෂ 10 අමතරව ලක්ෂ තුනක පොළී මුදලක් ද සමග ලක්ෂ දහතුනක් ලැබයි.තවද එම මුදල කැමතිනම් තවත් මාස තුනකට ආයෝජනය කිරීමේ අවස්ථාව ද සැකකරු ගනුදෙනුකරුවන්ට ලබා දී තිබේ .
ඒ අනුව නැවත නැවතත් මෙසේ මුදල් ආයෝජනය කළ ගනුදෙනුකරුවන් කෝටි 70 කට ආසන්න මුදලක් ආයෝජනය කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරු වසර හතරක පමණ සිට ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගනිමින් මෙම මූල්‍ය වංචාව සිදු කරගෙන ගොස් ඇතත් මීට මාස හයක පමණ සිට විස්වාසය කඩ වන පරිද්දෙන් ගනුදෙනු සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් විටින් විට ගනුදෙනුකරුවන් සැකකරුගෙන් විමසුවද ඔහු පරස්පර පිළිතුරු ලබා දීම නිසා උරණ වූ ගනුදෙනුකරුවන් පණහකට ආසන්න පිරිසක් ඉකුත් 14 දා ඔහුගේ නිවස වටලා කලහකාරිව හැසිරී තිබුණි .
ඒ අනුව දෙපාර්ශයම පොලිසියට කැඳවා ලබාගත් පැමිණිලිවලට අනුව කහතුඩුව පොලිස් වසමේ පදිංචිකරුවන් ගෙන් පමණක් මේ වනවිට දෙකෝටි දාහතර ලක්ෂ පනස් දහසක මුදලක් වංචා කළ බවට පැමිණිලි 12ක් ලැබී ඇති බව පොලීසිය කියයි .
එම පැමිණිලිවලට අනුව ලක්ෂ ගණනින් දහස් ගණනින් මුදල් ආයෝජනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මීට අමතරව කැස්බෑව මිරිහාන පිළියන්දල සහ කොට්ටාව යන පොලිස් ස්ථානවලද පැමිණිලි ලබාදීමට නියමිතය .
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට වැඩබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එච්.කේ. ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් අංශ කීපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න