මෙරට වැඩිහිටි පුද්ගලයන්ට ලබා දෙනු ලබන වැඩිහිටි දීමනාව ඔවුන්ට මාස 03ක් ලබා දී නොමැති බවත්, එම දීමනාව කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙස සභානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (10දා) ප්රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
කථානායකතුමත් වැඩිහිටියෙක්, අපිත් වැඩිහිටියෝ. වැඩිහිටි දීමනාව මාස 03ක් සමෘද්ධි බැංකු වලින් දීලා නෑ. ඒ අය වෙනදා තැපැල් කන්තෝරුවෙන් ගත්තේ. පස්සේ ආණ්ඩුව කිව්වා සමෘද්ධි බැංකු වල ගිණුම් පටන් ගන්න කියලා. මාස 03න් වැඩිහිටි දීමනාව දීලා නෑ. අසරණ වැඩිහිටියන්ට සොච්චම් මුදලක් ලැබෙන්නේ. ඒ අයට මේ තිබෙන අර්බුදය ඇතුලේ ඒකත් ලොකු දෙයක්. ඒකවත් ලැබෙන්නේ නැති තත්ත්වයක් තිබෙන්නේ. සභානායකතුමාගෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලනවා ඒ වැඩිහිටි දීමනාව නිසියාකාරයෙන් ලබා දෙන්න කඩිනමින් පියවර ගන්න කියලා.