වැටහිරකන්ද අලි මංකඩ අලි ඇතුන්ටම ලියා දෙයි
ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුමට තිරසාර සහ ප්‍රායෝගික විසඳුමක් ලබා දීමේ එක් පියවරක් ලෙස වන අලින් වසර සිය ගණනාවක් තිස්සේ සංක්‍රමණය සඳහා භාවිත කළ සාම්ප්‍රදායික අලි මංකඩවල් ආරක්ෂා කිරීම සිදු කෙරේ. ඒ අතරින් භූගෝලීය වශයෙන් සුවිශේෂී සහ වැදගත්ම ස්ථානයක් හිමිවන එක් අලි කොරිඩෝවක් වන්නේ"වැටහිරකන්ද අලි කොරිඩෝව"යි.
මෙම අලි කොරිඩෝව උඩවලව ජාතික වනෝද්‍යානය සහ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය එකිනෙකා වෙත යා කෙරෙන අතර, පානම, කුමන සහ යාල වනාන්තරවල සිට උඩවලව දක්වා ගමන් කරන වන අලින්ට ඇති එකම සහ ප්‍රධානතම පටු වනාන්තර තීරුව වන්නේද මෙයයි.
කෙසේ වුවද, වසර ගණනාවක සිට මෙම සාම්ප්‍රදායික අලි මංකඩ තුළ සිදු වූ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වනාන්තරය දැඩි තර්ජනයකට ලක්ව තිබුණි. මෙම පටු කලාපය තුළ සිදු වූ අනවසර පදිංචිවීම්, වනාන්තර ගිනිතැබීම් සහ මහා පරිමාණ වාණිජ වගාවන් නිසා අලින්ගේ නිදහස් ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර විය. එහි ප්‍රතිඵලයක් ලෙස තම සහජ සංක්‍රමණික මාර්ගය අහිමි වූ වන අලින්, මාර්ගය මගහරිමින් අවට පවතින බලහරුව, ගැමුණුපුර සහ දෙබරආර වැනි ගම්මාන කරා ඇදී ආ අතර, එමගින් කලාපයේ අලි-මිනිස් ගැටුම ඉතා උග්‍ර මට්ටමකට පත් විය. ගම්වැසියන්ගේ ජීවිත මෙන්ම වටිනා වනඅලි සම්පතද මෙයින් දැඩි අනතුරකට ලක්විය.
මෙම අර්බුදයට විසඳුමක් ලබා දෙමින්, නව රජයේ අලි-මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ නිල වශයෙන් ගැසට් නිවේදන මගින් ස්ථිරවම සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ප්‍රධාන අලි මංකඩවල් අතරට වැටහිරකන්ද අලි මංකඩද ඇතුළත් කර තිබේ.
ඒ අනුව, වන අලින්ට බාධාවකින් තොරව ගමන් කිරීමට ඉඩ සලසමින්, මෙම සංක්‍රමණික කලාපයේ ඇති අනවසර ඉදිකිරීම් සහ වගාබිම් ඉවත් කරමින් අලි මංකඩ නැවත යථා තත්ත්වයට පත් කිරීමේ නෛතික සහ ප්‍රායෝගික කටයුතු මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතී. මෙය පරිසර පද්ධතියේ සමතුලිතතාවයට මෙන්ම කලාපීය ජනතාවගේ ආරක්ෂාවටද තැබූ සුවිශේෂී පියවරකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

