වාහන නැති නිසා පුරාවිද්‍යාවේ කාර්ය සාධනය අඩුවෙලාලු
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021-2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව සහ 2024 විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (19) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී 2026 ජනවාරි 06 වැනි දින රැස්වූ අවස්ථාවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද සහ ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙස නිර්දේශ කර තිබුණි. නමුත් ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳ දත්ත තවමත් කාරක සභාව වෙත ලබාදී නැති බව මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදි. මේ අනුව සති දෙකක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකරන ලද පුරාවස්තූන් පිළිබඳවද දත්ත, ඒවා ගැසට් නොකිරීමට අදාළ කරුණු, ගැසට් කිරීමට යෝජිත කාාලරාමුවද ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් නිර්දේශ කරන ලදි.
එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මධ්‍යගත දත්ත පද්ධතියක් සකස් කිරීමට ලබාදී තිබූ නිර්දේශය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් කාරක සභාව වෙත ලබාදෙන ලෙස නිර්දේශ කළේය.
තවද අමාත්‍ය මණ්ඩල අනුමතියක් අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් උපයනු ලබන ආදායමින් 25%ක් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයට ලබාදිය යුතු බව සඳහන් වුවද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ප්රතිපාදනයට වඩා අඩු ප්‍රතිපාදන ප්‍රමාණයක් වාර්ෂිකව ඉල්ලා ඇති බව මෙහිදී අනාවරණය විය. මේ අනුව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩල අනුමතියකින් ලබාදුන් එම මුදල් ඉතිරි වූ බවත් මේ නිසා ඉදිරියේදී මහා භාණ්ඩාගාරයෙන් ලබාගන්නා මුදල්වලින් ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කරන බවත් ය.
එසේම දෙපාර්තමේන්තුව සතු වාහන හිඟය සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා වූ අතර මෙම වාහන හිඟය හේතුවෙන් ආයතනයේ කාර්යසාධනයට විශාල බලපෑමක් එල්ල වන බව නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව කාරක සභාව පෙන්වා දුන්නේ කාරක සභාව වශයෙන් මේ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත ඉල්ලීමක් කරන බවයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
