1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2025 මැයි 19 දිනැති අංක 2437/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සහ 2025 ජුනි 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව කාරක සභාවට යොමු කරන ලද රෙගුලාසි සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා වූ අතර, එම රෙගුලාසි සඳහා මෙහිදී අනුමතිය හිමි විය.
දේශීය වෙළඳපල තුළ මේ වන විට පවත්නා ලුණු හිඟය සැලකිල්ලට ගනිමින් ගෘහස්ත සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා අයඩීනීකරණය නොකළ අමු ලුණු සහ අහාරයට ගත හැකි අයඩීනීකරණය කල ලුණු (කුඩු කළ සහ කැට ලුණු) ආනයනය කිරීමට අවසර ලබා දීමට මෙම රෙගුලාසි මගින් ඉඩ සලසා තිබේ. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජුනි 24 වන දින පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය.
තවද, වාහන ආනයන සම්බන්ධයෙන් පවත්නා ගැටලු පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එම සාකච්ඡාව සඳහා සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) ඇතුලු ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගම් නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සහභාගී විය.
මෙහදී, වාහන සම්බන්ධයෙන් අය වන බදු පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වූ අතර ලියාපදිංචි නොකළ සහ සහ කෙටි දුර ප්‍රමාණයන් ධාවනය කර ඇති වාහන වෙනුවෙන් අයකරනු ලබන එකතු කළ අගය මත බද්දේ (VAT ) අදායම නිසියාකාරව ලබා ගැනීම සහ එම බදු අයකිරීම් සමබරතාවය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා විය.
මෙම රැස්වීමට අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.