මෙරට වෙත වාහන ආනයන සීමා ඉවත් කෙරුණු අවස්ථාවේ සිට මේ දක්වා කාලය තුළ ඒ සඳහා ඩොලර් මිලියන 450ක් වටිනා ණයවර ලිපි නිකුත් කෙරී ඇතැයි මහ බැංකුව අනාවරණය කරයි. ඊයේ මහ බැංකුවේ පැවැති මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ පිළිබඳව කරුණු සඳහන් කළේය.
ඒ අනුව දැනට නිකුත් කර ඇති මෙම ණයවර ලිපි හරහා මේ දක්වා ඩොලර් මිලියන 200ක් පමණ වටිනා වාහන මෙරටට ආනයනය කර ඇතැයිද අධිපතිවරයා සඳහන් කළේය.
“ණයවර ලිපියක් විවෘත කරලා එහි කටයුතු සිදු වෙන්න මාස තුනක පමණ කාලයක් ගත වෙනවා. පසුගිය කාල සීමාවේදී මේ ණයවර ලිපි නිකුත් කිරීම ක්‍රමයෙන් ඉහළ ගිහින් තිබෙනවා. පවතින දත්ත අනුව ගතවුණු මාස පහක කාලයක් සඳහා තමයි මේ ඩොලර් මිලියන 450ක ණයවර ලිපි නිකුත් වෙලා තිබෙන්නේ.“ මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා රජය ගත් තීරණයකට අනුව පසුගිය වසරේ ඔක්තෝබර් 01 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනයට අවසරය හිමි විය. ඒ අනුව පෞද්ගලික මෝටර් රථ ආනයනය සඳහා අවස්ථාව මේ වසරේ පෙබරවාරි 01 වැනිදා සිට හිමි විය. වසරකදී මෝටර් රථ ආනයනය සඳහා මෙරට විදේශ මුදල් සංචිතයෙන් ඩොලර් බිලියන 1ක මුදලක් නිදහස් කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි. පසුගිය අප්‍රේල් මාසය අවසන් වන විට එම සංචිතය ඩොලර් බිලියන 6.3ක් විය.
භානුක අමරසිංහ