මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි පොත් සහ රජයේ ලිපි ලේඛන සමඟ අත්අඩංගුවට ගත් වාරියපොල වාහන අලෙවි ප්රදර්ශනාගාර හිමිකරු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ඊයේ (02) නියෝග කළාය.
රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඉදිරිපත් කර ලියාපදිංචි කිරීමේ ජාවාරමට සම්බන්ධවීමේ සැකයට අත්අඩංගුවටගෙන වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයෙන් බන්ධනාගාර ගත කර සිටි වාරියපොළ නාලක එන්ටර් ප්‍රයිසස් වාහන ව්‍යාපාරික ආයතනයේ හිමිකරු වන නාලක ප්‍රමෝත් නමැති සැකකාර ව්‍යාපාරිකයා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණී.
බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකයේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට කාර්යාලයේ නිලධාරීන් සමඟ කුමන්ත්‍රණය කරමින් කූඨ ලේඛන ඉදිරිපත් කර රුපියල් මිලියන පනහකට අධික බදු මුදලක් රජයට අහිමි කරමින් සුඛෝපභෝගී ටොයෝටා ලෑන්ඩ් කෲසර් මෝටර් රථයක් ලොරි රථයක ලේඛනවලට ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවය.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රජයේ ලිපි ලේඛන රැසක් අත්අඩංගුවට ගත් බවත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කරන පොත් හා ලේඛන එහි තිබූ බැවින් ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය සිදු කරන බවත් සඳහන් කළේය.
සැකකරුට ආධාර අනුබල දුන්නේ යැයි කියන හම්බන්තොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සැකකාර නිලධාරීන්ට එරෙහිව නඩු පවරා ඇති බවත් කොමිසම කරුණු ඉදිරිපත් කළේය.
සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කරන පොත් ඇතු`ථ ලිපිගොනු රැසක් කොමිසම ඉදිරිපත් කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් 2002 වසරේදී සැකකරුගේ පියාගේ නමට ලියාපදිංචි කර ඇති ලෑන්ඩ්කෲසර් රථය රේගුවට හොර රහසේ 2017 වසරේ ආනයනය කර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් ලියාපදිංචි කළ වාහනයක් බවට තොරතුරු අනාවරණය වන බවද පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.