ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මීට වසර 20කට පෙර ඔහුගේ නිවස තුළම ඝාතනය කර, ඔහු පැලඳ සිටි රන් අභාරණ සොරා ගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයෙකුට වසර 03ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් නියම කළේය.
චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ, මොහොමඩ් ෆාරිස් (අවු.38) නමැත්තාටය.
2003 වසරේදී ගල්කිස්සේදී 52 හැවිරිදි පුද්ගලයෙකු ඔහුගේ නිවස තුළම ඝාතනය කර ඔහු පැලඳ සිටි රන් ආභරණ සොරා ගත් බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.
විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරිය කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියේ, මේ වනවිට 38 හැවිරිදි වියේ පසුවන තම සේවාදායකයා 19 වැනි වියේ සිටියදී සම ලිංගික ක්‍රියාවක නිරතව සිටියදී ඇති වූ සිද්ධියක් හේතූවෙන් මෙම ඝාතනයට අදාළ සිද්ධිය සිදු වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තම සේවාදායකයා පශ්චාත්තාප වන බවත්ය.
එසේම වයස අවුරුදු දෙකක දියණියකගේ පියෙකු වන තම සේවාදායකයා, තම අතින් වූ ක්‍රියාව සම්බන්ධයෙන් පශ්චාත්තාප වී වරද පිළිගන්නේ යැයි පවසා සිටි නීතිඥවරිය, තම සේවාදායකයාට අවම දඬුවමක් දෙන්නැයි ඉල්ලා සිටියාය.
මරණකරුගේ බිරිඳ වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා කරුණු දක්වමින් විත්තිකරුගෙන් වන්දියක් බලාපොරොත්තු නොවන බවත්, මෙම අපරාධය වනවිට තම සැමියා පවුම් 30ක් පමණ වටිනා රන් අභාරණ පැලඳ සිටියද, මේ වනවිට අධිකරණය හඳුනාගෙන ඇති මුදු දෙක තම සේවාදායකයාට ආපසු ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම චෝදනාවට වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ හැකි වුවත්, තරුණ වියේදී අසම්මත ලිංගික ක්‍රියාවක නිරත වූ අවස්ථාවක මෙම අපරාධය වූ බවට ඉදිරිපත් වූ කරුණු සැලකීමේදී අමානුෂික ආකාරයේ ඝාතනයක් කිරීමට පැමිණිල්ල නොදත් කරුණු හේතු වී ඇත්ද යන්න සැලකිල්ලට ගෙන වසර 03ක සිරදඬුවමක් නියම කරන බව සඳහන් කළේය.
විත්තිකරුට රුපියල් 10,000ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා, එම දඩ මුදල නොගෙවන්නේ නම්, තවත් මාස 06ක සිර දඬුවමක්ද පැනවීය.