නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර ව්‍යාජ ලිපි ලේඛන සකස් කල අතිසුඛෝපභෝගී මෝටර් රථයක් රුපියල් ලක්ෂ 25 ක ට විකිණීමට පැමිණි එහි රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ මෝටර් රථය අද (13දා) අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.
රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා අති සුඛෝපභෝගී මෝටර් රථයක් ලක්ෂ 25 ක ට විකුණන බවට පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරක් අනුව එය මිලදී ගැනීමේ මුවාවෙන් පොලිස් උපාය දූතයන් යොදවා කොළඹ නගරයට ආසන්න ප්‍රසිද්ධ රෝහලක් අසලට ගෙන්වාගෙන සැකකරු සහ වාහනය පොලිස් භාරයට ගෙන ඇත
අදාළ මෝටර් රථය පරික්ෂා කිරීමේදී එහි චැසිය වෙනස් කර තිබූ අතර සවිකර තිබූ ලියාපදිංචි අංකයට ව්‍යාජ ලිපි ලේඛන ද සකසා තිබූ බව පොලිසිය කියයි.
පොලිස් භාරයට ගත් මෝටර් රථයේ සවිකර තිබූ ලියාපදිංචි අංකය කඩවත ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් මෝටර් රථයක ලියාපදිංචි අංකය බවට තහවුරු වූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු පැවැසීය.
මහ පරිමාණයෙන් වාහන ආනයනය කරන පෑලියගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙම කූට ජාවාරම පිටුපස සිටින බවට සිදුකළ මූලික විමර්ශනවලදී තහවුරු වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙක් වන අතර ද ඔහුද වාහන කිහිපයක හිමිකරුවෙක් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
