ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සහ මුද්‍රණ උපකරණ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලීසිය පවසයි. සැකකරු ඊයේ (30දා) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණ කළුතර පාලම් දෙක ආසන්නයේ ඇති පලතුරු වෙළඳ සැලක් වෙත ගොස් රුපියල් 1000 ක නෝට්ටුවක් ලබාදී අන්නාසි පැකට්ටුවක් සහ අඹ පැකට්ටුවක් මිළදීගෙන තිබේ.
වෙළෙඳ සැල් හිමියා මුදල් නෝට්ටුව ගැන සැකසිතී පරීක්ෂා කිරීමේදී සැකකරු වෙනත් සත්‍ය නෝට්ටුවක් ලබාදී පලායාමට උත්සාහ දරා ඇති බවත් එහිදී වෙළෙඳ සැල් හිමිකරු පොලිසිය දැනුවත් කර ඇත.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකා ඇතුළු පොලිස් කණ්ඩායම මුලින් ලබාදුන් නෝට්ටුව ව්‍යාජ එකක් බවට හදුනාගෙන සැකකරු යතුරුපැදියද සමග භාරයට ගෙන තිබේ.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත පොලිස් කණ්ඩායම ඒ මොහොතේම ඔහු පදිංචි හම්බන්තොට වීරකැට්ය නිවස වෙත ගොස් එහි කාමරයක පවත්වාගෙන ගිය කුඩා මුද්‍රණාලය පරීක්ෂා කොට තවත් ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු 19 ක් , ස්කෑන් යන්ත්‍රයක් සහිත මුද්‍රණ යන්ත්‍රයක්, ලැප්ටොප් යන්ත්‍රයක්, ජංගම දුරකථනයක්, මුද්‍රණය සදහා භාවිතා කරන කාඩ්ර්ජ් 4 ක්, විශේෂ කඩදාසි 180 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ .
සැකකරු කලක පටන් මුදල් මුද්‍රණය කරගෙන ගොස් ඇති බවත්,බස්නාහිර සහ දකුණු පළාත් තුල විශාල මුදල් ප්‍රමාණයක් භාවිතා කර ඇති බවත් ලබාදී ඇති ප්‍රකාශ අනුව තහවුරුව ඇතැයිද පොලිසිය කීය .
කලක් බන්ධනාගාරගතව සිටි සැකකරු එහිදී මුද්‍රණ ශිල්පියකු හඳුනාගෙන , ඇප මත නිදහස් වීමෙන් අනතුරුව ඔහුගෙන් ලද දැනුම මත මෙසේ මුදල් මුද්‍රණය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.
390 S කාණ්ඩයට අයත් 062055 අංකයෙන්ම සියලු නෝට්ටු මුද්‍රණය කර ඇති බවත් , එම අංකය සහිත නෝට්ටු මෙන්ම අනෙකුත් නෝට්ටු පිළිබඳව ද සැලකිලිමත් වන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.
මෙහිදී අත්අඩංගුවට පත්ව ඇති වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර , ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස සහ මහත්වරුන්ගේ උපදෙස් පරිදි වැබ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකා මහතා සමගින් , උප පොලිස් පරීක්ෂක සිල්වා, සැරයන් ආර්.ඊ.බී.එස්.බී ගුන්නෑපාන (17060) සහ කොස්තාපල් අබේගුණවර්ධන (67167) වැටලීමට එක්වූහ .
පානදුර සුමිත් ප්‍රේමතිලක