සැප්තැම්බර් 15 සිට 21 දක්වා 2025 පළාත් පාලන සතිය පැවැත්වීමට තීරණය කර ඇතැයිද 2016දී මෙම පළාත් පාලන සතිය අවසන් වරට පවත්වා ඇති අතර නව රජය බලයට පත්වුණු පසු පවත්වන පළමු පළාත් පාලන සතිය මෙය බවද වසර 09කට පසු පවත්වන පළාත් පාලන සතිය පුනරුදයේ පුරවරය යන තේමාව යටතේ පවත්වන බවද පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනෙරත් මහතා සඳහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (08) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නැමති රජයේ තේමාව යටතේ “පුනරුදයේ පුරවර” නමින් 2025 පළාත් පාලන සතිය අරඹන බවද, ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත්වෙන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කරමින් අනාගත දැක්ම සුරක්ෂිත කෙරෙන පුනරුදයේ පුරවරයක් බිහිකිරීම උදෙසා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් මෙහෙයවනු ලබන අඛණ්ඩ වැඩසටහන සදහා අත්වැල් බැදගන්නා ලෙස සියලුම පළාත් පාලන ආයතන වලට ආරාධනා කරන බවද පැවසුවේය.
සමාරම්භක දිනය ලෙස සැප්තැම්බර් 15 වනදා ජංගම සේවා දිනය ලෙස නම්කර ඇතැයිද, 16 වනදා පරිසර සහ රුක් රෝපණ දිනය ලෙසද එනම් ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව නම්කළ බවද අවධාරණය කළේය. ලෝක රෝගී සුරක්ෂිතතා දිනය යෙදෙන සැප්තැම්බර් 17 වනදා සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය ලෙසත්, 18 වනදා ආදායම් ප්‍රවර්ධන දිනය ලෙසද නම්කර ඇතැයි පැවසුවේය. සාහිත්‍ය මාසයට සමගාමීව ක්‍රියාත්මක කරන මෙම සතිය තුළ 19 වනදා සාහිත්‍යය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය වශයෙන්ද ලෝක පිරිසිදු කිරීමේ දිනය යෙදෙන සැප්තැම්බර් 20 වනදා මහජන උපයෝගීතා දිනය ලෙස සහ අවසන් දිනය වන 21 වනදා සහතික පත්‍ර ප්රදානය සහ සමාප්තිය සනිටුහන් කරන බවද පැවසුවේය.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අබේරත්න මහතා සදහන් කළේ පළාත් පාලන සතිය තුළ ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන් රජයේ ප්‍රධාන ව්‍යාපෘති 03ක් ආවරණය වන පරිදි සිදුවන බවයි.
රටේ කැලි කසල බැහැර කිරීමෙන් පමණක් නතර නොවී ආයතනගත ගැටලුත් නිරාකරණය කරමින් පුරවැසියන් හැටියට වඩා පිරිසිදු තැනකට පත්වන්නේ කෙසේද යන කාරණය රජයේ ප්‍රධාන වැඩපිළිවෙලක් ලෙස පවතින බවද මෙම පළාත් පාලන සතියේදී ඊට අදාල මෙහෙයුම් රාශියක් සිදුවන බවද, ඩිජිටල්කරණය පිළිබඳව රජයේ පවතින ප්‍රධාන වැඩසටහනට අදාල ක්‍රියාකාරකම් රාශියක් මෙම පළාත් පාලන සතිය තුළ සිදුවන බවද සඳහන් කළේය.
මෙම සියලු කටයුතු වල රජයේ අවසාන ඉලක්කය වනුයේ රටේ ජනතාවගේ දුප්පත්කම තුරන් කර ශක්තිමත් ආර්ථිකයක් සහිත සතුටින් ජීවත් විය හැකි ප්‍රජාවක් නිර්මාණය කිරීම බවද එම මෙහෙයුමත් මෙම පළාත් පාලන සතිය තුළ පවතින බවද පැවසුවේය.
මේ අනූව රජයේ ප්‍රධානම මෙහෙයුම් 03කට අදාලව විවිධ ක්‍රියාකාරකම් මෙම පළාත් පාලන සතියේදී සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
