වසර 38කට පසු ඉන්දීය ආරක්ෂක ඇමති ලංකාවට
දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (8දා) තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නේ වසර 38කට පසුව වීම විශේෂත්වයකි.
අද දහවල් 1.25ට ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඒ මහතා, ලබන 10 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතය.
සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) යන මහත්වරුන් ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය. එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කරන ලද ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සිය සංචාරය ආරම්භ කිරීමට පෙර සිය 'X' (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙවැන්නකි.
"තෙදින නිල සංචාරයක් සඳහා මම නවදිල්ලියෙන් ශ්‍රී ලංකාව බලා පිටත්වෙමි. මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකා නායකත්වය සමග සාර්ථක හා ඵලදායී සාකච්ඡාවල නිරත වීමට මම බලාපොරොත්තු වෙමි. එසේම ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවීමටද නියමිතය.
අප දෙරට අතර පවතින දිගුකාලීන බැඳීම මෙන්ම, දීර්ඝ ඉතිහාසය සහ සංස්කෘතික සබඳතාවලට අමතරව, ඉන්දියාවේ 'අසල්වැසියාට මුල්තැන' සහ 'මහාසාගර්' වැඩසටහන් යටතේ ශ්‍රී ලංකාව යනු අපගේ වැදගත්ම පාර්ශ්වකරුවෙකි."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
