අවුරුදු 157 ක පොලිස් ඉතිහාසය තුළ යෝධ පිම්මක් පනිමින් මෙතෙක් විසදා ගැනීමට නොහැකි වූ විශාල ගැටලුවකට පිළියමක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ තුළ අපරාධකරුවන් මුහුණ මගින් හදුනා ගැනීමේ පද්ධතිය ස්ථාපිත කිරීමට හැකි වූ බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසූවේ 01/06 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත තුළ ස්ථාපිත කළ " ස්වයංක්‍රීය මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය " (Facial Recognition Unit ) විවෘත කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ ශ්‍රවණාගාරයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදීය .
ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් වලට විසදුම් ලබා දීම සදහා මීට මාස 06 කට පෙර ස්ථාපිත කළ කමිටුව විසින් දීර්ඝකාලීන විසදුමක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ තුළ මුහුණු මගින් රට තුළට පිවිසෙන සහ රටින් පළා යන අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා මෙවැනි පද්ධතියක් සවි කිරීමට යෝජනා කර තිබුණි .
මෑත කාළයේ දරුණු ඝනයේ මිනීමැරුම් සිදු කළ අපරාධකරුවන් 42 දෙනෙකු , ඒවා සිදු කර පැය කීපයක් තුළ රටින් පළා ගොස් තිබුණි .
මේ නිසා රට තුළ සිදු කළ විශේෂ විමර්ශනයකින් අනතුරුව ශ්‍රී ලංකාව තුළ සිටින දරුණු ඝනයේ අපරාධකරුවන් 1092 දෙනෙකු පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර , ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කර ඇති " ස්වයංක්‍රීය මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය " සමග සම්බන්ධ කර තිබේ .
මීට අමතරව ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග එක් වී ජාත්‍යන්තර පොලිසිය විසින් නිකුත් කළ ජාත්‍යන්තර රතු වරෙන්තුකරුවන් ගේ තොරතුරු ද මෙම පද්ධතියට සම්බන්ධ කර තිබේ .
මෙම පද්ධතිය ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතය .
මෙහිදී රටින් පිටවීමට හෝ රට තුළට පිවිසීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැමිණෙන සියලු මගීන්ගේ ජායාරූප මෙම පද්ධතිය මගින් ග්‍රහණය කර ගන්නා අතර එවැනි අපරාධකරුවෙකු මෙම යන්ත්‍ර අභියසට පැමිණි විගස මෙම පරිගණක පද්ධතිය මගින් විශේෂ අනතුරු හැගවීමේ සංඥා හඩක් නිකුත් කරනු ලබයි .
එසැනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් , ආගමන විගමන දෙපාර්තමේන්තු කවුන්ටර අසළ සිටින අපරාධකරු හදුනා ගෙන අත් අඩංගුවට ගැනීම සිදු කරයි .
මේ සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කැමරා 08 ක් සහ පිටත්වීමේ පර්යන්තයේ කැමරා 08 ක් වශයෙන් කැමරා 16 ක සේවා ලබා ගනිමින් සිටින අතර ඉදිරි කාළයේ මෙම පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට නියමිතය .
මෙම පද්ධතිය මගින් අවුරුදු 15 ක් 20 ක් පැරණි ජායාරූප දත්ත වුවත් උපයෝගී කර ගනිමින් , වර්තමානයේ ඔහු කෙතරම් වෙනස් වීම් වලට භාජනය වී සිටියත් , ලිංගික වශයෙන් සංක්‍රාන්ති අවධි පසු කරමින් ලිංගික වෙනස්කම් වලට භාජනය වී සිටියත් , ඉතා පහසුවෙන් එම පුද්ගලයා හදුනා ගැනීමේ අවස්ථාව මෙම පද්ධතියට හිමි වී තිබේ .
