මේ දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපා ඇති කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවට හානි සිදුවී තිබේ. අස්වනු නෙලීමට ආසන්නව පැවැති වී වගාවන් දින තුන හතරක් ජලයෙන් යට වී තිබීම නිසා එම වී ගොයමෙහි ම පැළ වීමේ තත්ත්වයක් මතුව ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.
අද දින (02) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පුත්තලම දිස්ත්‍රික් ගොවි සංවිධානය ඇතුලු ගොවි නියෝජිතයින් කිහිප දෙනෙක් ගොවි ගැටළු සම්බන්ධව අමාත්‍යවරයා සමග සාකච්ඡා කළේය.
එහිදී මේ දිනවල පවතින අධික වර්ෂාව දිස්ත්‍රික්ක කිහිපයක අස්වනු නෙලීමට ආසන්න වී වගාවට දැඩිව බලපා ඇති බව ඔවුහු ප්‍රකාශ කළහ.
එමනිසා මිනිස් පාරිභෝජනයට නුසුදුසු, අවපැහැ ගැන්වුනු හා පැළවුනු වී මනුශ්‍ය පාරිභෝජනයට නුසුදුසු හෙයින් සත්ව ආහාර වශයෙන් අලෙවි කිරීම සඳහා අවසර දෙන ලෙසත්, සත්ව ආහාර වශයෙන් වී සහ සහල් යොදා ගැනීම තහනම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කරන ලෙසත් ගොවි නියෝජිතයෝ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව පාරිභෝජනයට නුසුදුසු වී අස්වනු සහල් බවට පත් කර සත්ව ආහාර වශයෙන් යොදා ගැනීම සඳහා අවසර දෙන ලෙස වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය වෙතින් ඉල්ලීමක් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.
දැනට සත්ව ආහාර සඳහා යොදා ගන්නා ද්‍රව්‍යවල හිඟයක් පවතින බැවින් මනුශ්‍ය පාරිභෝජනයට නුසුදුසු වී ඒ සදහා යොදා ගත හැකිය. එමනිසා සත්ව ආහාර සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය පිටරටින් ආනයනය කිරීමට සිදු නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.