මාස 08 ක එකතුවු සමුර්ධි දීමනා දෙල්දූව සමුර්ධි බැංකුවෙන් රැගෙන යමින් සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ රුපියල් 14500 ක් කොල්ලකා පලාගිය පුද්ගලයෙකු සොයා පරීක්ෂණ සිදුකරන බව මොරොන්තුඩුව පොලීසිය පවසයි.
නුගගොඩ පනාපිටිය පාර ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කීය.
නුගගොඩ කොට්ඨාසයට සමුර්දි සහනාධාර බෙදීම ඊයේ (28) දෙල්දූව සමුර්ධි බැංකුවේ සිදුකර ඇති අතර එම බැංකුවෙන් මාස 8 ක හිග මුදල් ලබගත් ඇය බණ්ඩාරගම කළුතර මාර්ගයේ කළුතර දෙසට ගමන් කරමින් සිටියදී මෙසේ මුදල් කොල්ලකා තිබේ.
ඇය පසුපසින් පැමිණ ඇති සැකකරු " ඔය අම්මගේ අයිඩින්ටිය හරිද බලන්න කියලා සමුර්ධි මිස් කිව්වා" යනුවෙන් පවසා ඇති අතර , වයෝවෘද්ධ කාන්තාවක හැදුනුමිපත පෙන්වනවාත් සමගින් ඇය සන්තකයේ තිබූ රුපියල් 14500 ක මුදල උදුරාගෙන නුගගොඩ දෙසට පලාගොස් ඇති බව පොලිසිය කීය.
අදාල කාන්තාවගේ ස්වාමිපුරුෂයාද මියගොස් ඇති අතර , පසුගිය කාලයේ අසනීපව එක්තැන්ව සිට ඇති බවත්, සමුර්ධි මුදල් ලැබීමෙන් පසු පියවීමේ පදනම මත ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳ සැලකින් හාල් පරිප්පු ඇතුළු දෑ මිළදී ගෙන රුපියල් 7000 කට ආසන්න ණය මුදලක් පියවීමට නියමිතව සිටී බවද සදහන්වේ.
එම කාන්තාව සහනාධාර මුදල් ලබාගන්නා මොහොතේ සැකකරු ඒ අසල රැදී සිට ඇති බවට ඇසින් දුටු සාක්ෂියක් ඇති බවත්, ඔහු කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චිතව හදුනාගැනීමට පරීක්ෂණ සිදුකරන බවත් උසස් නිළධාරියෙක් කීය.
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සිල්වා මහතා ගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ සිදුකරති.
පානදුර සුමිත් පොතුපිටිය / බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ