වයිරස් සටනට අපි ලෑස්තියි
මේ වනවිට ශ්‍රී ලංකාව ඇතුළු මුළු ලෝකයම මුහුණ දී සිටිනුයේ හදිසි අවස්ථාවකටය. ඒ මාරාන්තික කොරෝනා වෛරසයයි. ශ්‍රී ලංකාවද ඇතුළුව මුළුමහත් ලෝකයම බියකරු කළු වළාවන්ගෙන් වෙළා ගන්නා මෙවන් මොහොතක තමන්ට ඇති හැකි පමණින්, අසරණභාවයට පත්වූවන්ට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වීම ජාතික වගකීමකි.
අද වනවිට මුළු මහත් ලෝකයේම ගෞරවාදරයට පාත්‍ර වූ ෆ්ලොරෙන්ස් නයිටිංගේල් (හෙද වෘත්තියේ නිර්මාතෘ) වැනි උත්තරීතර කාන්තාවන් බිහි වූයේද මෙවන් අවස්ථාවලදීය. රජයෙන් ලැබෙන දේ පමණක්ම බලා නොසිට මේ භයංකර මොහොතේ තමන්ගේ අතින් ඉටුවිය යුතු යුතුකම ඉටු කරන අපූරු කාන්තාවන් පිරිසක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී අපට දැකගත හැකි විය.

මේ වනවිට මුළු ලෝකයේම කොරෝනා රෝගයට මුහුණ දීමට අවශ්‍ය මුඛ ආවරණ ඇතුළු ආරක්ෂිත කබා හිඟයක් පවතී. ඒ ඒවා අධික ලෙස පරිභෝජනය කිරීමත්, ඒවා නිෂ්පාදනය කරන රටවලින් ගෙන්වා ගැනීමට ඇති අපහසුතාවත් හේතුවෙනි.
අප රට මුහුණ දුන් මෙම ගැටලුව සඳහා පිළිතුරක් සොයා ගැනීමට පේරාදෙණිය ශික්ෂණ රෝහල සමත්වී තිබේ. එහි මුඛ ආවරණ හා ආරක්ෂක කබා නිෂ්පාදනය කරන ස්ථානයට අප යන විටද එහි කාන්තාවන් ලහිලහියේ වැඩ කරන ආකාරය දැක ගැනීමට හැකි විය.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතාගෙන් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ මෙවන් කතාවකි.
“මේ වනවිට මෙරට මුඛ ආවරණ හා ආරක්ෂිත කබා මෙරට විශාල හිඟයක් පවතිනවා. ඊට හේතුව වී තිබෙන්නේ ලෝකයේ පවතින තත්ත්වය අනුව එය නිෂ්පාදනය කර ගැනීමට නොහැකිවීමත්, නිෂ්පාදනය කරන රටවලින් මෙරටට ඒවා ගෙන්වා ගැනීමට නොහැකි වීමත්.

මේ සම්බන්ධයෙන් අපගේ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කළ අවස්ථාවේදී ඔවුන් රෝහලට අවශ්‍ය මුඛ ආවරණ සහ ආරක්ෂිත කබා රෝහලේදීම නිෂ්පාදනය කර ගැනීමට යෝජනා කළා. ඒ අනුවයි අපි වැඩේට අත ගැහුවේ.
නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය අමුද්‍රව්‍ය අපි බාහිරින් සොයාගෙන නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. මෙම නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමට කැමති දානපතියෙකු සිටිනවා නම් ඒ සඳහා සම්බන්ධ විය හැකියි. අපි රජයට කිසිදු බරක් නොවී මේ කටයුත්ත කරගෙන යනවා. ඇඳිරි නීතිය පවතින නිසා අමුද්‍රව්‍ය සොයා ගැනීමේ අපහසුතාවකුත් පවතිනවා. කෙසේ හෝ මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන ගමන්. මෙම කාර්ය භාර්යයට අත ගසා සිටින මාගේ කාර්ය මණ්ඩලයටත් විශේෂ ස්තූතිය මා පුදකර සිටිනවා.”


ඡායාරූප සහ සටහන - ෂේන් සෙනෙවිරත්න
popular news
-
denin Thursday, 26 March 2020 07:51 AM
අපේ රටේ ඇගලුම් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් තිබෙන නිසා ඔය කර්මාන්ත ශාලා කීපයකට බැරිද අමු දව්‍ය සොයාගෙන අවශ්‍ය මුඛ ආවරණ හා කබා මසාදෙන්න මේ හදිසි අවස්ථාවේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

