වන අලි රු. ලක්ෂ 20ක වගාවන් වනසති
ගලෙන්බිඳුණුවැව, අංක 187 ඉහළ ගල්කුලම ග්‍රාම සේවා වසමේ සිදුකළ වන අලි ප්‍රහාරයකින් රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වටිනා පොල් සහ ගස්ලබු වගාවන් විනාශ වී ඇතැයි වගා හිමිකරුවෝ පවසති. මෙම ප්‍රහාරයෙන් අක්කරයක පමණ ප්‍රදේශයක වගා කර තිබූ ගස්ලබු කොටුවේ ජල සම්පාදනය සඳහා භාවිත කළ විසුරුම් ජල පද්ධතිය (Sprinkler system) ද අලි පාගා සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබේ.
වසර තුනකට අධික කාලයක සිට වෙම්බුවැව, හුරුලුවැව සහ මානන්කට්ටිය වැව් රක්ෂිතයන්හි ලැගුම්ගෙන සිටින වන අලි රංචු නිරන්තරයෙන් ගම්වැදීම නිසා ප්‍රදේශයේ ජන ජීවිතය දැඩි අවදානමකට ලක්ව ඇත. මේ තත්ත්වය මීට පෙර අවස්ථා කිහිපයකදී උද්ඝෝෂණ මගින් බලධාරීන්ට පෙන්වා දුන්නද, අගෝස්තු මාසය වන විට විදුලි වැට ඉදිකර දෙන බවට ලබාදුන් පොරොන්දු තවමත් ඉටු නොවූ බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මෙම වන අලි තර්ජන පිළිබඳව අදහස් දක්වමින් පළුගොල්ලාගම ඥානිස්සර පිරිවෙනේ කෘත්‍යාධිකාරී, ජාතික භික්ෂු එකමුතුවේ කැඳවුම්කරු රාජකීය පණ්ඩිත ඇලපත්ගම ඥානරතන හිමියන් පෙන්වා දුන්නේ, ගොවි ජනතාව බැංකු ණය ලබාගෙන සහ රන් භාණ්ඩ උකස් කරමින් ඉතා අසීරුවෙන් පවත්වාගෙන ගිය වගා බිම් මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.
"අලි ජනාවාස වෙත පැමිණ නිවාස, දොරවල් සහ වෙළඳසැල් කඩා බිඳ දමමින් ජනතාවගේ ජීවිත දැඩි අවදානමකට ලක් කර තිබෙනවා. රජයට මේ ගැටලුව විසඳිය නොහැකි නම්, එය කළ හැකි වෙනත් පාර්ශ්වයකට ලබා දී ඉවත් වන ලෙස අපි රජයට තරයේ මතක් කර සිටිනවා. කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් දැවැන්ත ගොවි උද්ඝෝෂණ සහ මාරාන්තික උපවාසයක් දක්වා යාමට සිදුවන බව දන්වා සිටිනවා," යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
වන අලි තර්ජන හමුවේ සිය දෛනික ජීවිතය සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවා අඩාල වී ඇති බව ප්‍රදේශයේ ගොවි මවක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වේදනාවෙන් පවසා සිටියාය.
"අපිට සහනාධාර එපා. අපි කරගෙන යන වගා බිම් ආරක්ෂා කර ගැනීමට අපට අවස්ථාව ලබා දෙන්න. මේ අලි ටික පන්නලා දීලා, අපිට ආරක්ෂාව ලබා දෙන්න විතරයි අපිට ඕනේ," යැයි ඇය පැවසුවාය.
මේ වන විට ගලෙන්බිඳුණුවැව ඇතුළු අවට ප්‍රදේශවල අලි 80ක පමණ සංඛ්‍යාවක් ගැවසෙන බව ගොවීහු පෙන්වා දෙති. පසුගිය දිනවලදීද අදාළ ප්‍රදේශවලින් දැඩි අලි උවදුරු වාර්තා වී ඇති අතර, බලධාරීන්ගේ නිද්‍රාශීලී ප්‍රතිපත්තිය හේතුවෙන් තමන් අන්ත අසරණ වී සිටින බව ඔවුහු වැඩිදුරටත් පවසති.






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

