වන අලි පහරදීමකින් දෙදෙනෙක් මරුට
ඇතිමලේ පොලිස් වසමට අයත් විජයපුර ග්රාම සේවා වසමේ 22 කොටස “අලියටවල” ප්රදේශයේදී වන අලින් විසින් සිදුකළ පහරදීම් වලින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර එක් අයෙකු,වන ජීවී දෙපාර්තුමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක නිලධාරියෙකි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ විජපුර 22 කොටස අලියටවල පදිංචි ලියනගේ රංජිත් ශාන්ත නැමති හතළිස් හත් හැවිරිදි අවිවාහකයෙකු වන අතර අනෙක් පුද්ගලයා වන වනජීවී දෙපාර්තුමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක නිලධාරියෙකු වන ඩී.එම් සුගත් නයනානන්ද නොහොත් නිලන්ත නැමති 42 හැවිරිදි අංක 03 කොටියාගල ප්රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
25 වෙනිදා අලුයම විජයපුර අලියටවල ප්රදේශයට වන අලින් කඩා වැදී ඇති අතර වගා බිමේ සිටි රංජිත් නැමති අය වගා බිමේ වෙනත් වාඩියකට යමින් සිටියදී අලි ප්රහාරයට ලක්ව එම ස්ථානයේදීම මියගොස් ඇත.
අනතුරුව ඒ පිළිබඳව ඇතිමලේ වන ජීවී නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව වහාම ක්රියාත්මකවූ ඔවුන් ගම් වැදුණු වන අලින් පළවා හැරීමට කටයුතු කරමින් සිටි අවස්ථාවේ වන අලියෙකු පහරදීමෙන් වනජීවී දෙපාර්තුමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක නිලධාරීවරයවරයා මියගොස් ඇත.
සිද්ධියෙන් පසු වන අලින් පලවා හැරීමට නිසි ලෙස කටයුතු නොකළේ යැයි කුපිත වූ ප්රදේශයේ ජනතාව වනජීවී නිලධාරීන්ට අතින් පයින් සහ පොලු වලින් පහරදී තිබේ.
පහර කෑමට ලක් වූ වන ජීවී නියාමකවරුන් වන රොෂාන් ප්රියදර්ශන,ඩී.වී විජේ ද සිල්වා,ක්ෂේත්ර සහකාරවරුන් වන කේ.එම් රංජිත් කුමාර,පී.එම් නිලාන් සංජීව යන සිව් දෙනා සියඹලාණ්ඩුව මූලික රෝහලේ ප්රතිකාර ලබමින් පසුවේ.
ඔවුන්ට පහර දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ඇතිමලේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මියගිය දෙදෙනාගේ මරණ පිළිබඳව හදිසි මරණ පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ සියඹලාණ්ඩුව මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
ඇතිමලේ පොලිස් ස්ථානාධිපති වසන්ත ආනන්ද මහතා සහ වන ජීවී දෙපාර්තුමේන්තුවේ මොනරාගල ස්ථාන භාර නිලධාරී හර්ෂ රුවන් කුමාර යන මහත්වරුන් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
