විදුලි බල මණ්ඩලය කෑලි අටකට කඩා පෞද්ගලීකරණයට අදාළ පනත සම්මත කර තිබියදී ජාතික ජන බලවේගය ලබාදුන් පොරොන්දුව අනුව එම පනත සංශෝධනය කරමින් සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, සේවකයන්ට වඩා හොඳ ආරක්ෂාව සැපයූයේ ජාතික ජන බලවේගය ආණ්ඩුව බවත් වෙළඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
විදුලි බල මණ්ඩලය රාජ්‍ය සමාගමක් ලෙස ස්ථාපිත කර ඇති බවත්, මෙම සංශෝධනයට එරෙහිව පවතින විරෝධතාවයන්ට දේශපාලන හස්තයක් තිබේද යන්න සේවකයන් හඳුනාගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
සේවකයන් වෙනුවෙන් ස්වේච්ඡා විශ්‍රාම වැටුපක් හඳුන්වා දී ඇති බවත්, එය තමන්ගේ කැමැත්ත අනුව විශ්‍රාම ගත හැකි බවත්, වර්තමානයේ සිදුකරන උද්ඝෝෂණ සාධාරණ නොවන බවත්, වත්මන් රජය පෞද්ගලීකරණය හෝ සේවක මර්ධනය සිදුකරන්නේ නැති බවත්, විදුලි බල මණ්ඩලයේ ආරක්ෂාවත් සේවකයන්ගේ සුරක්ෂිතභාවයත් රැකගත් බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
රටේ වැඩ කරන ජනතාවගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමේ කටයුතු රජය සිදුකර ඇති අතර, ඇතැම් සුළු පිරිසක් ඒක විරුද්ධව කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වත්කම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු දැරූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා, නාමල් රාජපක්ෂගේ පමණක් නොව ඔහුගේ බිරිඳගේද මෙන්ම මාමණ්ඩිලා සමග රජය සම්බන්ධ ව්‍යාපාර පිළිබඳ පැමිණිලි තිබෙන බවත්, ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් හෙළිදරව්වක් ආණ්ඩුව සිදුකර ඇති බවත්, වත්කම්–බැරකම් ප්‍රකාශ ලබාදීම පිළිබඳව වගවිමක් වත්මන් ආණ්ඩුව සමාජයට පෙන්වා දී ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
රටේ වගකිවයුතු දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් තම වත්කම් පිළිබඳව හෙළිදරව් කළ බවත්, එය ලබා නොදුන් දේශපාලඥයන් සම්බන්ධයෙන් අදාළ ආයතන නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.