තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන වත්කම් බැරකම් පනතේ ප්‍රතිපාදනවලට වඩා ඉහළින් ඇති බව අභියාචනාධිකරණය අද (28දා) නියෝගයක් ලබාදෙමින් සඳහන් කළේය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොනු කර තබූ අභියාචනයක් (CA/RTI/04/21) නිශ්ප්‍රභා කරමින් අභියාචනාධිකරණය ඒ බව සඳහන් කළේය.
වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඇතුළු තොරතුරු මුදාරින ලෙස දන්වමින් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුවට ලබාදුන් තීන්දුවක් බල රහිත කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුව විසින් මෙම අභියාචනය 2021 වසරේදී ඉදිරිපත් කර තිබුණි.
සම්පත් බී අබේකෝන් සහ පී කුමාරරත්නම් යන අභියාචනාධිකරන විනිසුරුවරු විසින් මෙම තීන්දුව ලබාදුන්හ.වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ඇතුළු ඒපිළිබඳ තොරතුරු ඉල්ලමින් මාධ්‍යවේදී චාමර සම්පත් විසින් පාර්ලිමේන්තුවට යොමු කළ තොරතුරු ඉල්ලීමකට අදාළව මෙම අභියාචනය විභාගයට ගැනුණි.
පාර්ලිමේන්තුවට යොමුකළ තොරතුරු ඉල්ලීම පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට යොමු කළ අභියාචනය දීර්ඝ ලෙස විභාග කිරීමෙන් පසුව අදාල තොරතුරු මුදා හරින ලෙස කොමිසම පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීට නියෝග කළේය.
එම තීන්දුව ගනු ලබාදුන්නේ තොරතුරු කොමිසමේ හිටපු කොමසාරිස්වරුන් වන මහින්ද ගම්මන්පිල, හිටපු විනිසුරු රෝහිණි වල්ගම, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ එස් ජී පුංචිහේවා සහ සෙල්වි තිරුචන්ද්‍රන් යන මහත්ම මහත්මීන් විසිනි.
එම තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අභියාචනාධිකරණයට අභියාචනයක් ගොනු කිරීමෙන් පසු මාධ්‍යවේදී චාමර සම්පත් වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා සහ නීතිඥ සුභාංගි විමලනාදන් මහත්මිය නීතිඥ නිලූකා දිසානායක මහත්මිය යන නීතීඥ කණ්ඩායම පෙනීසිටියහ.
නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව සහ නියෝජ්‍ය සිලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය පෙනී සිටි අතර කොමිසම වෙනුවෙන නීතිඥ හිමාලි කුලරත්න සහ නීතිඥ ජයනි ඇල්ලේපොල පෙනී සිටියහ.
මාධ්‍යවේදී චාමර සම්පත් විසින් 2018 වසරේදී පාර්ලිමේන්තුවට මෙම තොරතුරු ඉල්ලීම යොමුකළ අතර 2018.09.11 දින මේ සම්බන්ධයෙන් තොරතුරු කොමිෂන් සභාවට අභියාචනා කර ඇත. වසර 02 කට වැඩි කාලයක් කොමිෂන් සභාව තුළ මෙම කාරණය විභාග කිරීමෙන් අනතුරුව තොරතුරු මුදාහරින ලෙස කොමිෂන් සභාව නියෝග කළේය. එයට විරුද්ධව පාර්ලිමේන්තුව විසින් 2021 දී අභියාචනාධිකරණය හමුවේ මේ සම්බන්ධ අභියාචනය ගොණුකරන ලදී.