වගාහානිය වළක්වා ගැනීමට සතුන් වන්ධ්‍යාකරණයට ලක්කිරීමේ ක්‍රමවේදයක් සකස්කළ යුතු බවත් රිලවුන්ගෙන්, වඳුරන්ගෙන් සහ මොණරුන්ගෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවන වගාහානිය දරුණු වෙමින් පවතින බවත් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා කීවේය.
සතුන්ගෙන් සිදුවන වගා හානිය සමස්ත වගාවෙන් තුනෙන් එකක් පමණ වන බවත් මෙයට විසඳුම් ලබාගත නොහැකිනම් ගොවීන් වගාවෙන් ඈත්වීම වැළැක්විය නොහැකි බවත් පැවසූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළ විට සතුන් ආරක්ෂා කිරීම හැර සතුන්ට හානි කිරීමේ කිසිම දෙයක් කළ නොහැකි බව පවසන බවයි.
දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“හානිකර සතුන්ගේ ගහන පාලනය කිරීමට විද්‍යාත්මක සහයක් අවශ්‍යයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මේ ගැන පර්යේෂණ කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වුණා. අපි සතුන් ආරක්ෂා කිරීම කළ යුතුයි. නමුත් වෙනත් රටවල මෙවැනි හානිකරන සතුන් ගේ ගහනය පාලනය කිරීමට සතුන් ආරක්ෂා කරන ආයතනම කටයුතු කරනවා.”
මෙහි දී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඒ.යූ.වේලාරත්න මහතා මෙසේ කීවේය.
“අවුරුදු නැකතට මුරුංගා පැල ඉන්දන්න කියලා අපිට කියනවා නමුත් මුරුංගා ගහක දල්ලක්වත් එන්න දෙන්නේ නෑ. වඳුරෝ කනවා.”
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී තීරණය කෙරුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ වගා හානිය අවම කරගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රමයක් සකස් කළ යුතු බවයි. මෙම රැස්වීම පසුගිය දා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි