ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බෙදාහැරීමට තිබූ ඩීසල් ලීටර් 13200 ක් ව්‍යාජ බලපත්‍රයක් සකසා බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවකට අධික මිළකට අලෙවි කිරීමට රැගෙන යමින් තිබූ බව්සරයක් සමග රියදුරු සහ සහයකයා අද (17) අලුයම අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
ඩීසල් ලීටරයක් විකුණුම් මිලට වඩා රුපියල් 30 ක් වැඩිපුර අලෙවි කිරීම සදහා කටයුතු යොදා තිබූ බවද පොලිසිය කීය. ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණයෙන් එම ප්‍රදේශයේම ඉන්ධන හලකට ඩීසල් රැගෙන යාමට බලපත්‍රයක් සකසා තිබූ අතර,බණ්ඩාරගම ප්‍රදේශයේ කර්මාන්තය ශාලාවකට ලීටරයක් රුපියල් 460 බැගින් අලෙවි කිරීමට ව්‍යාජ බලපත්‍රයක් සකසා තිබූ බව පොලිසිය කීය.
මෙම ජාවාරම හේතුවෙන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව මෙන්ම පොදුවේ රජයද අපහසුතාවයකට පත්වන බැව් උසස් පොලිස් නිලධාරීයෙක් කීය. ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම අලුයම පරගස්තොට ප්‍රදේශයේ රැකසිට වැටලීම කර තිබේ.
රජය මගින් උපදෙස් ලබාදී ඇති QR කේත ක්‍රමය උල්ලංඝනය කරමින් මෙය සිදුකර ඇති බවත්, මීට පෙරද මෙවැනි ආකාරයට ඉන්ධන රැගෙනවිත් ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
අදලා කර්මාන්ත ශාලාවේ කළමණාකාරිත්වයෙන්ද ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව පොලිසිය සදහන් කරයි. මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කලගෙඩිහේන සහ මීගලෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසිය කීය.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පානදුර සුමිත් පොතුපිටිය
