ලෝක මිහිකත විවාහක රූ රැජින - 2023 ( Mrs Earth International ) ලෙස කිරුළ දිනා ගත් අම්පාර 21 හැවිරිදි සෂ්මි දිසානායක මහත්මිය අද (26දා) දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියාය. ලෝකයේ රටවල් 45 ක තරගකාරියන් 60 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පිලිපීනයේ මැනිලා නුවර ඉකුත් 17 සිට 22 දින දක්වා මෙම තරගාවලිය පවත්වා තිබුණි.
එහිදී සෂ්මි දිසානායක මහත්මිය මෙම තරගාවලියේ අනු තරගාවලි 04 ක් ජය ගනිමින් මෙසේ ලෝක මිහිකත විවාහක රූ රැජින ලෙස ජයග්‍රහණය කර තිබුණි. කටුනායක ගුවන් තොටුපොළේ දී සෂ්මි දිසානායක මහත්මිය මාධ්‍ය හමුවේ මෙසේ ප්‍රකාශ කළාය.
"මට හරි සතුටුයි මගේ මේ ජයග්‍රහණය පිළිබඳව. මේ නිසා මගේ රට උසස් තැනකට රැගෙන යන්න මට පුලුවන් උනා. මම මේක තනියෙන් ආපු ගමනක් නෙමෙයි . මගේ මේ ජයග්‍රහණයට රුක්මාල් සේනානායක ගුරුතුමාත් , ජාතික අධ්යක්ෂ චරිත් ගුණරත්න සහ නිෂ්පාදක ඉසුරු ගුණසේකර යන මහත්වරුන් උදව් කළා. ඒ වගේම මගේ දෙමාපියන් සහ මගේ සැමියාත් බොහෝ සේ උදව් කළා.
මම ගොඩක් මහන්සියෙන් මේ ප්‍රතිඵලය අත් කර ගත්තෙ. මට මේ තරගාවලියේ දී ගොඩක් අභියෝග තිබුණා. තවත් බොහෝ රටවල ලස්සන , දක්ෂතා වලින් පරිපූර්ණ කාන්තාවන් ඉදිරිපත් වී සිටියා.
මගේ ඉදිරි කටයුතු සැළසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට මම බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකාව තුළ පරිසර හිතකාමී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා මගේ වැඩි අවදානයක් යොමු කරනවා. එසේම දැනටමත් විදේශීය රටවල් රාශියකින් මෙම ක්ෂේත්රයේ විවිධ වැඩසටහන් සදහා ආරාධනා ලැබී තිබෙනවා"
එසේම මෙම ක්ෂේත්රයට පිවිසෙන නවකයින් සිය සැගවුණු දක්ෂතා භාවිත කරමින් රටට කීර්තිය ගෙන ඒමට කටයුතු කළ යුතු බව ද පැවසුවාය .
සෂ්මි දිසානායක මහත්මිය මෙම කිරුළ රැගෙන 07/26 දින උදෑසන 09.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.045 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඇය පිළිගැනීම සදහා ඇයගේ සැමියා , දෙමාපියන් , නෑදෑ හිතවතුන් සහ ඇය මෙම තරගාවලිය සදහා ඉදිරිපත් කිරීම සිදු කළ නෙක්ස්ට් ඉවෙන්ට් එන්ටර්ටේන්මන්ට්
( Next Event Entertainment ) ආයතනයේ නිලධාරීන් , පුහුණුකරුවන් සහ අනෙකුත් තරගාවලි සදහා සූදානම් වන තරුණියන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

