මන්නාරම ප්රදේශයට බියර් තොගයක් ප්රවාහනය කර නැවත පැමිණෙමින් තිබු ලොරි රථයක් අනුරාධපුර රඹෑව ඒ 20 මාර්ගයේ උත්තර සාලිය විහාරස්ථානය ආසන්නයේදී අද (26දා) අළුයම බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.
අලුයම 3ට පමණ මෙම ලොරි රථය මාර්ගය අයිනේ නවතා තිබූ බස් රථයක පිටුපස ගැටීමෙන් බස් රථය ඉවතට විසිවී ගොස් ඒ අසල තිබූ අධිබලැති කණුවක ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් ලොරි රථයට, බස් රථයට හා විදුලි කණුවට දැඩි හානි සිදුව තිබූ අතර ලොරි රථයේ සහායකයාගේ පාද වලට බරපතළ තුවාල සිදුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.
ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක කරන බව පොලිසිය පැවසීය.


