හිටපු පාතාල නායකයින් වන දෙමටගොඩ සංජීව සහ සමයන්ගේ ගෝලයකු වන දැනට විදේශගතව සිට මෙරට මත්කුඩු ජාලය මෙහෙයවන දෙමටගොඩ ප්‍රියන්ත නමින් හඳුන්වන පුද්ගලයා ගේ අනියම් බිරිඳ වන යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝපල් වරියක් සහ තරුණයකු ලක්ෂ 40 කට වැඩි හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස පොලිස් අත්තඩංගුවට පත්ව ඇත්තේ ජනකපුර, වැලි ඔය පදිංචි වයස තිහක පුද්ගලයකු සහ දිවුලපිටිය විතාන මුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන සැකකාරියක් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට පත් වූ ලොරි රථයේ ඉදිරිපස වීදුරුවේ අත්‍යවශ්‍ය සේවා ලෙස පුවරුවක් සවිකර මත් කුඩු බෙදා හැර ඇති බව ද බවද පොලිසිය කියයි .
ප්‍රධාන සැකකාරිය, අනුරාධපුර මාතලේ හන්දිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන අනුරාධපුරය සහ ඒ අවට "අක්කා" යන වෙළෙඳ නාමයෙන් ඊසි කෑෂ් ක්‍රමයට මෙම කුඩු බෙදා හැර ඇති බවත්, මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් අතර "අක්කාගේ කුඩු" යන නාමයට දැඩි ඉල්ලුමක් පවතින බවට අනාවරණය වීමෙන් පසුව, සිදු කල දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අනුරාධපුර ජනකපුර ප්‍රදේශයේ පදිංචි "වැලිඔය රාළ" නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන සැකකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 21 යි, මිලිග්‍රෑම් 240ක් සමග අනුරාධපුර නගරයේ දී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී, පොලිස් කණ්ඩායමක් මීගහවත්ත පොලිස් වසමේ දෙල්ගොඩ ප්‍රදේශයට ගොස් ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකාරිය සතුව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 115යි මිලි ග්‍රෑම් 120ක ප්‍රමාණයක් තිබී හමුවූ බවද පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී බට්ටා වර්ගයේ ලොරි රථයක්, ලක්ෂ අටක් පමණ වටිනා යතුරු පැදියක්, හෙරොයින් මත්කුඩු කිරන ඉලෙක්ට්‍රොනික් තරාදි දෙකක්, ජංගම දුරකථන තුනක් සොයා ගත් බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට සැකකාරිය සහ සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

