දෛනික ලොතරැයි පත් අලෙවිය 35%ත් 40%ත් අතර ප්‍රමාණයකින් මේ වනවිට අඩු වී තිබෙන බවත්, මේ නිසා ලොතරැයි අලෙවි සහායකින් දැඩි ලෙස අසරණ වී සිටින බවත් සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජතයන්ගේ සංගමය සඳහන් කරයි.
ලොතරැයි අලෙවි සහායකින් ලෙස 36,000කට අධික පිරිසක් සිටින බවත්, මෙම පිරිසෙන් සැලකිය යුතු පිරිසක් ආබාදිත පුරවැසියන් වන අතර, වයස්ගත පුරවැසියන්ද අතිවිශාල පිරිසක් සිටින බවත් එම සංගමයේ ලේකම් ක්‍රිෂාන් මාරඹගේ මහතා ප්‍රකාශ කළේය.
ලොතරැයි පතක් අලෙවි කිරීමේදී අලෙවි සහායකයාට හිමි වන්නේ, රුපියල් දෙකයි ශත පනහක මුදලක් පමණක් බවත්, මේ නිසා මෙම කොමිස් මුදල ශත විසිපහකින් හෝ ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පවසා සිටියේය.
දෛනිකව ලොතරැයි පත් අලෙවිය අඩුවීම නිසා අලෙවි සහායකින්ගේ දෛනික ආදායමත් ඊට සාපේක්ෂව අඩු වී තිබෙන බවත්, එහෙත් භාණ්ඩ හා සේවා මිල දිනපතා ඉහළ යමින් තිබෙන බවත් ලේකම්වරයා සඳහන් කළේය.
අලෙවි නියෝජිතයන්ට පවා හිමි වන්නේ, කොමිස් මුදලක් බවත්, ලොතරැයි පත් අලෙවිය අඩු වීමට සාපේක්ෂව අලෙවි නියෝජතයන්ගේ ආදායම්ද අඩුවෙමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා ලොතරැයි පත්වල දිනුම් අවස්ථා ඉහළ දමා ලොතරැයි අලෙවිය ඉහළ දමා ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත්, මීට අමතරව පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අලෙවි සහායකයන්ට ලබාදෙන කොමිෂ් මුදල ශත 25කින් ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත් ලේකම්වරයා සඳහන් කළේය.