දඹුල්ල , සීගිරිය ,දේවහුව ,ගල්කිරියාගම ,පුබ්බෝගම, ආදී ගොවිජන සේවා බල ප්රදේශ වල වගා කෙරුණු දේශීය ලොකු ලූනු අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ වී තිබේ.
අස්වනු වෙළඳපොලට ලැබීම්ත් සමඟ දේශීය ලොකුළූණු කිලෝවක උපරිම තොග මිල ගැණුම් මිල රුපියල් 80 සිට 140 දක්වා පවතින බවත් ගොවීන් පෙන්වාදෙති
විශාල පිරිවැයක් මෙවර ලොකු ලූණු වගාව සඳහා ගොවීන් වියදම් කළ ද එතරම් සාර්ථක අස්වැන්නක් නොලැබීම නිසා ලැබෙන මුදල ප්රමාණවත් නොවන බව දේශීය ලොකු ලූනු ගොවීන් පවසති.
විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූනු වෙළඳපලේ විශාල වශයෙන් පවතින බවත් ඉතාමත් අනර්ග තත්වයේ පවතින දේශීය ලොකුලූනු සඳහා රුපියල් 130 ක 140 ක මිලක් ලැබුණත් එවැනි ගුණාත්මක ලූනු ඉතා අඩු ප්රමාණයක් ලැබෙන නිසා තමන්ගේ නිෂ්පාදන කොටස් කිරීමේදී ලැබෙන්නේ කිලෝවකට රුපියල් 50 ත් 60 ත් අතර මිලකට බව ඔවුහු පෙන්වා දෙති.
සීගිරිය ප්රදේශයේ ගොවීන් බොහෝ දෙනෙකු සිය අස්වැන්න නෙලීම ආරම්භ කොට ඇති අතර ඔවුන් කියා සිටින්නේ මෙවර වියදම් කළ මුදල හෝ ලබාගැනීමට නොහැකි බවය.
ලබන කන්නේ දේශීය ලොකු ලූනු වගාවට සමුදෙන බව ද අස්වනු නෙළන ගොවීන් පවසති. දේශීය ලොකු ලූනු අස්වැන්න නෙළා ලොකු ලූනු කිලෝවක් කපා ඉවත් කිරීමට කුලිය වශයෙන් කම්කරුවෙකුට කිලෝවකට රුපියල් හතරක මුදලක් ලබා දෙන බවත් ගොවීන් පවසති .කම්කරුවන් ද කියා සිටින්නේ දවසේ කුලිය හෝ සොයා ගැනීමට ලොකු ලූණු කැපීම සිදු කර ගැනීම්ට නොහැකි බවය.
මන්ද එතරම් ලොකු ලූනු මෙවර කුඩාවට පැවතීම සහ වැස්ස නිසා විනාශ වීම සිදුව ඇති බව කම්කරු කාන්තාවෝ කියයි .
මෙවර දේශීය ලොකු ලූණ වගාව සඳහා රුපියල් 25000ට අධික මිල යටතේ පොහොර සහ අනෙකුත් සෑම යෙදවුම් මිල ඉහළ ගොස් තිබියදී දේශීය ලොකු ලූනු ගොවියාට මෙවර අස්වැන්නෙන් විශාල හානියක් සිදුව ඇති බව ඔවුන් පෙන්වාදෙති.
කෙසේ වෙතත් විදේශීය රටවලින් ගෙන්වන ලොකු ළූණු සඳහා යම්කිසි බදු මුදලක් පැනවීම් සිදු කළහොත් දේශීය ලොකුළූණු ගොවියාට යම් මට්ටමකින් සාධාරණයක් ඉටුවී වියදම හෝ අඩුකර ගතහැකි වන බව දේශීය ලොකු ලූනු ගොවීන් පෙන්වා දෙති.
