ලිට්රෝ සමාගමට නව සභාපතිවරයෙක් කඩිනමින් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලිට්රෝ සමාගමේ වැඩසහන් ප්‍රචාරණ හා මාධ්‍ය කළමනාකරු පියල් කොළඹහෙට්ටිගේ මහතා පැවසීය.
ලිට්රෝ සමාගම කඩා වැටීමට හේතුව ඩොලර් අර්බුදයම නොවන බවත්, 2019 වසරෙන් පසු පත්වූ සභාපතිවරුන්ගේ කළමනාකරණයේ වරදක් නිසාත් එය සිදු වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (12දා) කොළඹ 02, ලිට්රෝ සමාගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.2019 වසරේ සිට සභාපතිවරුන් තිදෙනෙකු යටතේ ලිට්රෝ සමාගම පැවතියද එම සියලුම සභාපතිවරුන් අසාර්ථක වූ බව ඔහු පවසා සිටියේය.
2019 වසරේදී රුපියල් බිලියන 20ක ඉතුරුම් සහිත ලාභ ලබන ආයතනයක් වූ ලිට්රෝ සමාගම ගෑස් නෞකාවක් ගැනීමට නොහැකි තත්ත්වයට පත් වූයේ අසාර්ථක පාලනයක දුර්වලතා හේතුවෙන් යැයිද හෙතෙම සඳහන් කළේය.
ලිට්රෝ සමාගමට ක්ෂේත්රය පිළිබඳ පලපුරුද්ද සහිත දැවැත්ත නායකත්වයක් අවශ්‍ය බවත්, 2019 වසරට පෙර සිට ලිට්රෝ ආයතනයේ කළමනාකරණ අධ්යක්ෂ ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතා පත් කිරීමේ යෝජනාවක් ඇත්නම් ඊට ආයතනයේ සියලුම දෙනාගේ එකඟතාව ඇති බවත් පියල් කොළඹහෙට්ටිගේ මහතා පවසා සිටියේය.
මේ වන විට එක් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයකින් රුපියල් 2,500ක පාඩුවක් ලබන තත්ත්වයට ලිට්රෝ සමාගම පත් වූයේ 2019 සිට පත් වූ සභාපතිවරුන්ගේ කළමනාකරණ දුර්වලතා හේතුවෙන් යැයිද ඔහු පැවසුවේය.
ඒ හේතුවෙන් ලිට්රෝ ආයතනයට සඳහා සුදුසුකම් සහිත, පලපුරුද්ද ඇති නායකයෙක් කඩිනමින් ලබාදෙන ලෙස ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය. කඩිනමින් සභාපතිවරයෙක් පත් කළහොත් වරායේ ඇති ගෑස් නෞකාව කඩිනමින් නිදහස් කරගත හැකි වනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුව සඳහා ලිට්රෝ සමාගමේ සමස්ත සේවකයන් නියෝජනය කරමින් විවිධ අංශවල නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.