ලක්ෂ 90ක දුම්වැටි සමග රේගු නිලධාරියෙක් ඇතුව 3ක් අල්ලයි
රුපියල් අනූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රේගු නිලධාරීවරයෙකු ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනෙකු 03/11 දින උදෑසන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති තිදෙනාම ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වීම විශේෂත්වයකි. මෙම දුම්වැටි තොගය මෙරටට ගෙන ආ ප්‍රධන ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහායකවරයා 03/11 දින උදෑසන 08.45 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී රේගු නිලධාරීවරයා සිය රාජකාරී හැදුනුම්පත ඉදිරිපත් කර ගුවන් තොටුපොළ තුළට පිවිස , මෙම දුම්වැටි තොගය , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීවරයෙකු පැවසීය .
එසේම මොවුන් විසින් ගමන් මලු 05 ක් රැගෙන විත් තිබූ අතර , ඒවා තුළ විදේශීය නිෂ්පාදිත '' මැන්චෙස්ටර් '' වර්ගයේ දුම්වැටි 60,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 300 ක් සගවා ගෙන තිබූ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය .
මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා , ඔවුන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය 03/12 දින නීතිවිරෝධී ආනයනය , ජාවාරම් කිරිම සහ සන්තකයෙහි තබා ගැනීම යන චෝදනා යටතේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය .


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

